ජාතික රූපවාහිනිය සම්බන්ධව පසුගිය කාලයේදී විවිධ චෝදනා එල්ල විය. විශේෂයෙන්ම ඒකපාර්ශ්වීයව මාධ්‍යය හසුරුවන බවට එමගින් කියවුණි. යහපාලන රජය විසින් පත්කළ නව කළමනාකාරීත්වයක් යටතේ එහි පරිසරය වෙනස් වෙමින් තිබේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්රි මහතා සම්බන්ධ කර ගත්තේ වර්තමානයේ එහි කටයුතු සිදුවන ආකාරය දැන ගැනීමටය.
Q ජාතික රූපවාහිනිය දේශපාලන අරමුණු මත කටයුතු කරන බවට චෝදනා එල්ල වෙනවා. එම චෝදනාවෙන් මිදෙන්න උත්සාහයක් තිබෙනවාද?
දැන් ආණ්ඩුවෙන්ම චෝදනාවක් තියෙනවා ආණ්ඩුවේ දේවල් යන්නෑ කියලා. ආණ්ඩුවේ මතවාදය යන්නෑ, ආණ්ඩුවට ඕන දේවල් නෙමෙයි රූපවාහිනියේ යන්නෙ කියලා චෝදනා කරනවා. ඕනෑම රජයකට මතවාදයක් තියෙනවා. රජයේ මතවාදය සහ රජයේ ප්‍රතිපත්ති, රජයේ ඉදිරි දැක්ම, ඉදිරි වැඩකටයුතු කිරීමට මාධ්‍යයක් තියෙන්න ඕන. ඒ මාධ්‍යය තමයි රජයේ මාධ්‍යය. කාටවත් කියන්න බෑ ඒක නැහැයි කියලා. රජයේ මාධ්‍යය තියෙන්නේ රජයේ වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙනියන්න. එහෙම නැතිව රජයට වෙන මාධ්‍යයක් නැහැ. රජයට පෞද්ගලික මාධ්‍යයට ගිහින් කියන්න බැහැ අපේ එක දාන්න කියලා. කිව්වට දාන්නෙත් නෑ. පෞද්ගලික මාධ්‍යය බිහිවෙන්නේ රජයේ දේවල් විවේචනය කරලා, ඒවායේ අඩුපාඩු දක්වලා, රජයට සහයට කතා කරන්න නෙමෙයි. ඒ නිසා රජයේ මතවාදය ගෙනියන්න රජයේ මාධ්‍යය තියෙනවා. ඒක ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ හැම රටකම එහෙමයි. ප්රජාතන්ත්රවාදය ඉහළින් තියෙන යුරෝපයේ රටවල උනත් ආණ්ඩුවේ නාළිකාවෙන් තමයි රජයේ වැඩපිළිවෙළ, සාකච්ඡා, මතවාදය, සංවර්ධනය පිළිබඳ විශ්ලේෂණ ජනතාව අතරට ගෙනියන්නේ. නමුත් මම එන්න ඉස්සෙල්ලා පසුගිය කාලයේ ඒ දේවල් ටික කෙරෙන්නෑ කියලා ප්‍රශ්නයක් තිබුණා. එම ප්‍රශ්න විසඳාගෙන තමයි යන්නේ. ඒ ප්‍රශ්න විසඳාගෙන යද්දි කාටවත් කියන්න බැහැ පක්ෂාග්රාහීව කටයුතු කරනවා කියලා. පක්ෂග්රාහී කියන්නේ සම්පූර්ණ වෙන කතාවක්. රජයේ වැඩපිළිවෙළ, රජයේ ප්‍රතිපත්ති ජනතාව අතරට යන්න වෙන ක්‍රමයක් නැහැ. ඒක රජයේ මාධ්‍යයේ වගකීමක්.
Q ප්රවෘත්ති ඇතුළු සියලුම වැඩසටහන් පක්ෂග්රාහීව විකාශය කරන බවට පසුගිය ආණ්ඩුවට චෝදනා එල්ල වුණා. වත්මන් කළමනාකාරීත්වය එම චෝදනාවලින් බැහැර වෙන්න සිදුකළ වෙනස්කම් මොනවාද?
ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් විශාල චෝදනාවක් තිබුණා. ටෙලිනාට්‍යයක් දාගන්න බැහැ කියන චෝදනාව තිබුණා. නමුත් දැන් එහෙම චෝදනා නැහැ. ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. කසිකබල්, කිසිම තේරුමක් නැති, ළමයින්ට බලන්න බැරි ටෙලිනාට්‍ය අපි අයින් කරලා තියෙන්නේ. හතේ අටේ කාලය තුළදී දැන් ළමයින්ටත් බලන්න පුළුවන් දේවල් තමයි ඉදිරිපත් කරන්නේ. අපිටත් ළමයි ඉන්නවා. දැන් ස්වාධීන මණ්ඩලයක් ඉන්නවා. ඒ අය තමයි මේවා බලන්නේ. එතැනින් බලලා තව කමිටුවකට යනවා. එතැනින් බලන්නේ එම නිර්මාණය රූපවානියට කොතරම් සුදුසුද කියලයි. ළමයින්ට ප්‍රමුඛත්වය දීලා තමයි මම හැමවිටම වැඩ කරන්නේ. ඒ වගේම පසුගිය කාලයේදී මේ ආයතනයේ විනය අයාලේ ගොස් තිබුණා. කොච්චර දක්ෂයෙක් වුණත්, කොච්චර වැඩකාරයෙක් වුණත්, කොයිතරම් හැකියාවක් තිබුණත් විනය අයාලේ ගියාට පසුව ඒ හැකියාවන් වලින් මට සතපහකට වැඩක් නැහැ. මේ ලෝකයේ තියෙන අනර්ඝතම මාණික්‍ය වුණත් වැඩක් නැහැ පලුද්දක් තියෙනවා නම්. මේ වකවානුවේ මගේ ප්‍රධාන අවධානය යොමු වී තියෙන්නේ මේ ආයතනයේ විනය සකස් කිරීම සඳහායි. අවශ්‍ය අවස්ථාවලදී මම තීන්දු තීරණ ගන්නවා.
Q වත්මන් යහපාලන රජයෙන් ජාතික රූපවාහිනියට බලපෑම් එල්ල නොවන බවට ඔබට දිය හැකි සහතිකය මොකද්ද?
යහපාලන ආණ්ඩුව තුළ විෂයභාර ඇමතිවරු දෙන්නෙක් හිටියා. නියෝජ්‍ය ඇමතිවරුත් හිටියා. ඒ කිසිම ඇමතිවරයෙකුගෙන් කිසිම ඇඟිලි ගැසීමක් වෙන්නෙ නෑ. දුරකථන ඇමතුමක් එන්නෙ නෑ. කිසිම බලපෑමක් එන්නෙ නෑ. කොයි දේ කවුරු කිව්වත් මෙතන තියෙන මාධ්‍ය නිදහස ගැන කියන්න වෙනවා. මට ඒක ඇඟට දැනෙනවා. මම මාධ්‍යයේ හිටපු පුද්ගලයෙක් නෙමෙයි. මම ස්වාධීන පුද්ගලයෙක්. ස්වාධීනව සිටි අයෙකුට තමයි මොකක්හරි බලපෑමක් තියෙනව නම් ඉස්සෙල්ලාම දැනෙන්නෙ. නමුත් එහෙම කිසිම දෙයක් නැහැ. මැති ඇමතිවරුන් ඇඟිලි ගහන්නෙ නෑ. යහපාලනයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඕනෑම දෙයක අඩුපාඩු තියෙනවා. තියෙන අඩුපාඩු හදාගෙන යෑමයි කෙරෙන්න ඕන. මෑත ඉතිහාසයේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න පුළුවන් යුගයක් ඇවිත් තියෙනවා කියල මට හිතෙනවා.
මෙතන තියෙන පරිපාලනය, විනය වැදගත් වනවා. පසුගිය කාලයේ තිබුණෙ දක්ෂකම් වෙන වෙන දේවල්වලට පාවිච්චි වෙන එක. නමුත් විනය නැතිවුණාට පස්සෙ ඒ දක්ෂකම, ලැජ්ජ බය නැතිවෙනවා. ඉන්පසුව මහජනතාවගේ අප්‍රසාදයට ලක්වෙනවා. අපි පන්සලකට ගියාම, උසාවියකට ගියාම හැසිරෙන විදියක් තියෙනවා. ඒ වගේ තමයි ආයතනයක්. එක එක මට්ටම් එක්ක හැසිරෙන විදියක්, කටයුතු කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ආයතනයක විනය නැතිව ඉදිරියට යන්න බැහැ. දක්ෂයෝ ඉන්න පුළුවන්. මට ඇත්ත වශයෙන්ම දක්ෂයොම ඕන නැහැ. මේකෙ අතිශය දක්ෂයොත් ඉන්නවා, කිසිම දක්ෂකමක් නැති මිනිස්සුත් ඉන්නවා. මට ඒ දෙගොල්ලොම ප්‍රශ්නයක් නැහැ. විනය විතරයි ප්‍රශ්නෙකට තියෙන්නේ.
Q ජාතික රූපවාහිනියේ ප්රවෘත්ති විකාශනය ඇතුළු අනෙකුත් වැඩසටහන්වලදී විරුද්ධ පාර්ශ්වයන්ට ලබාදෙන ඉඩකඩ ප්‍රමාණවත් නැති බවට පසුගිය පාලන සමයේදී චෝදනා එල්ල වුණා. වත්මන් ආණ්ඩුව යටතේත් ඒ චෝදනාව ඒ ආකාරයටම එල්ල වෙනවා?
විපක්ෂයට දෙන ඉඩකඩ නැහැයි කියන එක විපක්ෂයමයි කියන්නේ. දැන් ආණ්ඩු පක්ෂයත් කියනවනේ ආණ්ඩුවට දෙන ඉඩකඩ මදි කියලා. ඇමතිවරුන් කියනවා අපේ ඒවා යන්නෑ කියලා. හැමදාම මේකෙ මොනවාහරි යන්නත් එපැයි. එතකොට මොකද්ද මේකෙ ගිහිල්ල තියෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. ආණ්ඩුවෙන් එල්ලවෙන චෝදනාව දැන් සමනය වෙන්න ඕන කියලා මම හිතනවා.මොකද ආණ්ඩුවේ මතවාදයට ඉඩක් ලබාදෙන්න අපි කටයුතු කර තිබෙනවා. ආණ්ඩුවේ මතවාදයට ඉඩ දුන්නට පසුව මේකෙ සියයට පනහ පනහ වෙන්න විදියක් නැහැ. විපක්ෂයේ මතය සියයට සියයක් ගෙනියන මාධ්‍ය මේ රටේ තියෙනවා. ඒ අතින් බලද්දී ජාතික රූපවාහිනිය කියන්නේ ආණ්ඩුවේ ගෞරවය රැකගෙන තමන්ගේ පරාසයන් තුළ ඉතා සාධාරණ විදියට කටයුතු කරන නාළිකාවක්. වෙනත් පෞද්ගලික නාළිකා තියෙනවා සියයට සීයක්ම ආණ්ඩුවේ එක නෙමෙයි කියන්නේ. ආණ්ඩුවේ කිසිවක් යන්නෑ. ගියොත් යන්නේ අනිත් පැත්තට. සාධාරණයක් එමගින් සිදුවෙන්නේ නෑ. වචනයෙන් හරි පොඩ්ඩක් හරි කරකවනවා. ඒක කොයි රටෙත් එහෙමයි. සුපිරි ප්රජාතන්ත්රය තියෙන රටවල පවා ඕවා අඩු වැඩි වශයෙන් තියෙනවා. අපි මේක පුළුවන්තරම් පාලනය කරලා මැද මාවතක යන්න ඕන. එහෙම නැතිව ඉතා තිරස්චීන විදියට, මිනිසුන්ට පහර ගහලා, චරිත ඝාතනය කරලා, නොවුණු දේවල් කියලා, නැති චෝදනා නගලා සිදුකළ සංස්කෘතිය දැන් රාජ්‍ය මාධ්‍යවල නැවතිලා තියෙනවා.
ජාතික රූපවාහිනියේ සේවකයන් ඉවත් කිරීම, දේශපාලන වුවමානා මත මාරුකිරීම්, පහතට ඇද දැමීම් ආදිය මගින් යහපාලන ආණ්ඩුව සේවකයන්ගෙන් පළිගන්නා බවට චෝදනා එල්ල වෙනවා. අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් ඔබ මේ චෝදනා ගැන සොයා බැලුවාද?
එහෙම චෝදනාවක් මම දන්නෙ නැහැ. එහෙම මාරු කිරීම්, පළිගැනීම් සිදුවෙලා නැහැ. මාරු කිරීමක් වෙනවා නම් ඒක පළිගැනීමක් නෙවෙයි. මාරු කරන්නේ මොකක්හරි හේතුවක් ඇතිවයි. අපි සිදුකළ සියලු මාරු කිරීම් අතිශය සාධාරණව පරීක්ෂණ පවත්වලා, ඉතාමත් සාධාරණ විසඳුම් අරගෙන කළ දේවල්. අපි පිටට දෙනවා පරීක්ෂණ කරන්න කියලා. සමහර බරපතළ කාරණා තිබෙනවා නම් අමාත්‍යාංශයෙන් නිලධාරීන් පත්කරන්න කියනවා. කොයිතරම් සාධාරණ විදියටද, විනිවිදභාවයෙන්ද මේවා යන්නේ කියන එකට ඒවා තමයි උදාහරණ. අසාධරණ විදියට මාරු කිරීම් කරනවා නම් මෙතන පුදුමාකාර විදියට මාරු කිරීම් කරන්න වෙනවා. මාරු කිරීම් නෙමෙයි සමහරු ගෙවල්වලම තියන්න වෙනවා. කිසිම අයෙකුට වැරැද්දක් කරල තියෙනවා නම් බේරෙන්න බැහැ. වෙබ්සයිට්වල කුමන මඩ ප්‍රචාර ගියත් කරන්න ඕන දේවල් අපි කරනවා. වෙබ්සයිට්වල යන ඒවා හිත හිත හිටියොත් මෙතන මෙලෝ දෙයක් කරන්න බැහැ.
Q ජාතික රූපවාහිනිය පසුගිය කාලයේදී පාඩු පිට පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වුණා. මේ වන විට එම තත්ත්වය වෙනස් වෙලාද?
පසුගිය රජය සමයේදී ජාතික රූපවාහිනිය පාඩු ලබන්න පටන් ගත්තා. මේවා කොහොමද පාඩු වුණේ කියන එක ගැන ජනාධිපති කොමිෂන්වල නඩු යනවා. ඒවාට සම්බන්ධ අය දැන් පෝළිමේ කොමිෂන්වල ඉන්නවා. දැනට තියෙන තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ගොඩ එනවා. ලෝකයේ අනිත් රටවල ආණ්ඩුවේ නාළිකාවට රජයෙන් අරමුදල් සපයනවා. නමුත් අපිට සතපහක්වත් ලැබෙන්නෙ නෑ. අපිම හොයාගෙන අපිම කරන්න ඕන. රජයේ දේවලුත් අපිට කරන්න වෙලා තියෙනවා. රජයේ නොයෙකුත් දේවල්වලට රාජ්‍ය මාධ්‍ය ප්‍රචාරය දෙන්න ඕන. අපි ඒකට සැදී පැහැදී සිටිය යුතුයි. එහෙම නැතිව රජයේ වැඩපිළිවෙළ කොහෙද යන්නේ, කවුද දාන්නේ. රජයේ දෙයක්වත් රජයේ මාධ්‍ය දාන්නෙ නැත්නම් රජය අනාථයි. ආදාහන උත්සවවලට කවුද සල්ලි දෙන්නේ? ආදාහන උත්සව අපි කරන්න ඕන. ආදාහන උත්සවවලින් අපිට සල්ලි ඉල්ලන්න බැහැ. නමුත් කරන්න වෙනවා. රජයෙන් සල්ලි නොලැබෙන නිසා කරගෙන යන්න අමාරු තත්ත්වයක් තිබෙනවා. නමුත් ඒවා සියල්ල කරගෙන ගිහින් මෙතනට එන ආදායමත් එක්ක බැලුවාම පාඩුව කියන එක මහ ලොකු ගාණක් කියල කියන්න බැහැ. දැන් තියෙන කළමනාකාරීත්වය එකමුතුව ඉන්නවා. මීට කලින් මේ පරිපාලනයේ ලොකු විෂමතා තිබිලා, ඝට්ටන ඇතිවෙලා, ප්‍රශ්න තිබුණා. ඒ නිසා ආයතනයට ඉදිරියට යන්න බැරි වුණා.
Q දැනට සිටින සේවකයන් ප්‍රමාණය ආයතනට දරාගන්න පුළුවන්ද?
දාහකට ආසන්න සේවකයන් පිරිසක් ඉන්නවා. ඉන් බරපතළ ලෙස සේවක අතිරික්තයක් තිබෙනවා. ඒ නිසා තමයි මෙම ආයතනය වැටී තිබෙන්නේ. එහෙම වුණාම මිනිස්සුන්ට එක එක ඕපදූප කතා කරන්න, කැලෑ පත්තර ගහන්න වෙලාව තියෙනවා. වැඩ නැතිවුණාම තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ. වැඩ තියෙනවා නම් ප්‍රශ්න නැහැ. ඒවා ක්‍රමක්‍රමයෙන් හදාගන්න ඕන.
Q ඉදිරි සැලසුම් මොනවාද?
අපි ඉහළ සාමූහිකව ගන්න සැලසුම් තමයි මෙතන ක්‍රියාත්මක කරන්නේ. මෙතන කිසිම තීරණයක් අත්තනෝමතික වෙන්න මම ඉඩ තියන්නෙ නෑ. කිසිම කෙනෙකුගේ පෞද්ගලික තනි මතයට වැඩ කරන්න බැහැ. ටෙලිනාට්‍ය ගැනීම සම්පූර්ණයෙන්ම සමනය කරලා තියෙන්නේ. කිසිම කෙනෙකුට ඇඟිල්ල දිගු කරන්න බැරි විදියට වැඩපිළිවෙළ සකස් කර තිබන්නේ. සමහරු කිසිම ගාණක් නැතිව පරණ පුරුද්දට මෙතනට එනවා. කීයක් ඉල්ලුවද, කීයක් දුන්නද ඇහුවාම ඉල්ලුව ගාණ, දුන්නු ගාණ ඒ අය කියනවා. තව තියෙනවා කියන්න බැරි දේවල්. අපි ලෝක පූජිත හොඳ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඇතුළේ වැඩසටහන් තවත් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. සේවකයන්ට පුහුණුවීම් ලබාදෙන්න ඕන. ඔවුන් තවත් දියුණු කරගත යුතුයි.
අපේ පුස්තකාලය සංරක්ෂණය කරගන්න වෙලා තියෙනවා. අවුරුදු 35කට පෙර තිබුණු ටේප් තමයි එහි තියෙන්නේ. ඒ ටේප් සදාකල් පවතින ඒවා නෙවෙයි. මේ ටික සංරක්ෂණය කරගන්න කොරියාව, ජපානය උදව් කරන වැඩසටහන් තියෙනවා.
ඒ වගේම මේ වසර අවසන් වීමට පෙර සංහිඳියාවේ නාළිකාව නමින් අපිට අලුත් චැනල් එකක් එනවා. ඒ සඳහා ජනාධිපතිතුමා විශාල මුදලක් අපිට දීලා තියෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සංහිඳියා කාර්යාලයෙන් ආධාර ලැබෙනවා. ඉතා ඉක්මනින් එම නාළිකාව ආරම්භ කරන්න යන්නේ. එවිට අපිට වැඩසටහන්වලට තව ඉඩ එනවා. අපේ සමහර වැඩසටහන් එම නාළිකාවට දාන්න පුළුවන්. චැනල් අයි නාළිකාවේ දෙමළ, සිංහල වැඩසටහන් යනවා. එම දෙමළ වැඩසටහන් සංහිඳියා නාළිකාවේ විකාශය කළහොත් චැනල් අයි නාළිකාවේ තව ඉඩප්රස්ථා ඇති වෙනවා. බොහෝ විට නව නාළිකාව දෙමළ පැත්තෙන් තමයි යන්නේ. සංහිඳියාවට අදාළ කරගෙන තමයි වැඩසටහන් සංවිධානය කරන්නේ. වැඩි බරක් දෙන්නේ දෙමළ සංස්කෘතියට. මොකද සිංහල නාළිකාවක් අපිට තියෙන නිසා. දැනට ඒ සඳහා විකාශන උපකරණ ගෙනැවිත් තිබෙනවා.