අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව සූදානම්ද?


සිංහල අලුත් අවුරුද්ද තව නොබෝ දිනකින් උදාවනු ඇත. මේ අලුත් අවුරුද්ද වෙනුවෙන් රටේත්, ජනතාවගේත් සූදානම ගැන සොයන්නට අප කළ සංචාරයේදී ජනතාව පළකළ අදහස් මෙසේ ඔබ වෙත ගෙන එමු.

රාජ්‍ය සේවකයෙකු වන ජීවක මහේෂ් මහතා

''අලුත් අවුරුද්දට කියලා විශේෂ සූදානමක් නැහැ. සාමාන්‍ය විදයට චාරිත්‍ර ටික කරන එක තමයි කරන්නේ. භාණ්ඩ වලත් මිල අඩුවීමක් වෙලා නැහැ. මේ කාලෙට අවශ්‍යතාත් වෙනදාට වඩා වැඩි නිසා වියදමුත් වැඩියි.ආර්ථික ප්‍රශ්න වැඩි නිසා අලුත් අවුරුද්ද කියන එක මිනිස්සුන්ට දැනෙන්නෙත් නැති තත්ත්වයක් අද තියෙන්නේ.''

බී.එම්.වනිගසේකර මහත්මිය

''බඩු මිල නම් පොඩ්ඩක් වත් අඩුවෙලානැහැ. ගිය අවුරුදු වලට වඩා මේ අවුරුද්ද ටිකක් අමාරුයි. අවුරුද්ද සමරන්නත් ණය වෙන්න වෙලා තියෙනවා. හාල් වෙන කාලවලට වඩා මිල වැඩියි. අවුරුදු කාල වලදී විතරක් නෙවෙයි නිකං කාල වලත් දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි.''

ජීවන් ප්‍රසන්න මහතා

''දැන් අවුරුදු තියෙන්නේ මිනිස්සුන්ට නෙවෙයි,ආණ්ඩු කරන අයට. ඇති මිනිහට හැමදාම අවුරුදු. අපි පුංචිකාලේ සමරපු අවුරුදු වගේ නෙවෙයි දැන් අවුරුදු සමරන්න නම් සල්ලි තියෙන්නම ඕන. ආණ්ඩු ගැන නම් කතා කරල වැඩක් නැහැ. හාල් ඇටේ ඉඳන් හැමදේම ගණන් ගිහිල්ලා. හැමදාම බොරුව කර කර ඉන්නවා.''

කේ.එන් ලක්‍ෂිකා මහත්මිය

''දැන්නම් අවුරුදු කියල විශේෂයක් නැහැ. සමරන්න ඕන නිසා සමරනවා. අවුරුද්දෙන් අවුරුද්ද අමාරු වෙනවා මිසක් හිතේ සැනසිල්ලෙන් සමරන අවුරුද්දක් නැහැ. අලුත් ඇඳුමක් හරි ගැනෙන්නේ මේ කාලෙට විතරක් නිසයි වියදම් පොඩ්ඩක් වැඩි වෙන්නේ.සල්ලි නැතිව අවුරුදු සමරන්න බැරිවෙන තරමටම අලුත් අවුරුද්දත් අද මුදලට යටවෙලා ඉවරයි. අවුරුදු සමරන්න නිසා එදිනෙදා වැඩ කරන්නත් මිනිස්සු අතේ සල්ලි නැහැ.''

ජානක චමින්ද මහතා

''අවුරුදු කාලෙත් එක්ක බඩු මිල ඉහළ යන එක සාමාන්‍ය දෙයක්. අවශ්‍යතා වැඩ වීමත් එක්ක වියදම් වැඩිවෙන එක තමයි වෙලා තියෙන්නේ. හැමදේටම ආණ්ඩුවලට දොස් කියන්න බැහැ. ආසාවලුයි අවශ්‍යතායි වෙන් කරගෙන සල්ලි හරි විදියට හසුරවලා වියදම් කරන්න මිනිස්සු දැනගන්න ඕන. මේ අවුරුද්ද ඒ තරම් නරකක් නැහැ. සාමාන්‍ය විදියට ගෙවිලා යයි.''

පමුණුවේ ඇඟලුම් වෙළෙඳාමේ යෙදෙන ප්‍රදීප් කුමාර මහතා

''ගිය අවුරුදු තරම් බිස්නස් නැහැ. මේ පාර මිනිස්සු ආවට එයාලා අතේ සල්ලි නැහැ. කන්න බොන්න අද ලොකු වියදමක් යන නිසා අද මිනිස්සුන්ට ඇඳුම් ගන්න තියා බෙහෙතක්හේතක් ගන්නවත් සල්ලි නැහැ. අපිත් බිස්නස් කරන්නේ කන්න බොන්න. මිනිස්සුන්ට සල්ලි නැති වුණාම අපිටත් බඩේ පාර වදිනවා. අලුත් අවුරුද්ද කියලා මිනිස්සුන්ට දැන් විශේෂයක් නැහැ.''

මහරගම ඇඟලුම් වෙළෙඳ ආයතනයක හිමිකාරිනියක් වන නිලුකා කුමාරි මහත්මිය

''බිස්නස් වල වරදක් නැහැ. මේ පාරත් හොඳට බිස්නස් තියනවා.මිනිස්සුන්ගෙත් දැන් දැන් උනන්දුවක් ඇති වෙලා තියෙනවා අවුරුද්ද සමරන්න. අවුරුද්ද තවත් ළං වෙද්දි තව තවත් මිනිස්සු එනවා. පාරිභෝගිකයෝ සතුටු කරන්න පුළුවන්නම් අපිට හැමදාම අවුරුදු තියෙනවා.''

ව්‍යාපාරිකයෙකු වන යොමිත බිමල් මහතා

''මේ අවුරුද්ද කියලා විශේෂයක් නැහැ. ගිය අලුත් අවුරුද්ද වගේ සාමාන්‍ය විදියටයි බිස්නස් තියෙන්නේ. මිනිස්සුන්ගෙ මුදල් තත්ත්වෙත් මේකට බලපානවා. මිනිස්සුන්ට අවුරුද්ද ගැන උනන්දුවක් තිබුණත් අවශ්‍ය විදියට වියදම් කරන්න සල්ලි නැහැ. මොන ආණ්ඩු ආවත් මිනිස්සුන්ට සහන නැහැ. අවුරුද්ද ගැන විශේෂයෙන් හිතන තැනක දැන් මිනිස්සු නැහැ.''

ඡායාරූප - සරසි නෙත්මිණි

IMG_8355 IMG_8356 IMG_8358 IMG_8359 IMG_8360 IMG_8361 IMG_8364 IMG_8365 IMG_8371 IMG_8373 IMG_8375



Recommended Articles