ෆුකුෂිමා ජලය මුදා හැරීමට ක්‍රියාකරු අවසරය ඉල්ලයි


පිරිපහදු කළ විකිරණශීලී ජලය විශාල ප්‍රමාණයක් සාගරයට මුදා හැරීමට සැලසුම් කර ඇති මුහුද යට උමං මාර්ගයක් සහ අනෙකුත් පහසුකම් ඉදිකිරීම සඳහා ආරක්ෂක බලධාරීන්ගේ අනුමැතිය සඳහා ඉල්ලුම් කර ඇති බව ජපානයේ සුනාමියෙන් සුන්බුන් වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ක්‍රියාකරු පවසයි.

ටෝකියෝ ඉලෙක්ට්‍රික් පවර් කම්පැනි හෝල්ඩිංග්ස් (TEPCO) සමාගම, ජුනි මාසයේදී පහසුකම් ඉදිකිරීම ආරම්භ කර 2023 අප්‍රේල් මාසයේදී ජලය නිකුත් කිරීම ආරම්භ කිරීමට රටේ න්‍යෂ්ටික නියාමන අධිකාරියෙන් අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පැවසීය.

කෙසේ වෙතත් මෙම සැලැස්මට ධීවරයින්, පදිංචිකරුවන් මෙන්ම, චීනය සහ දකුණු කොරියාව ඇතුළු ජපානයේ අසල්වැසියන් විසින් දැඩි ලෙස විරුද්ධ වී ඇත.

"ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් දූෂිත ජලය බැහැර කිරීම ගෝලීය සාගර පරිසරයට සහ මහජන සෞඛ්‍යයට අදාළ වන අතර එය කිසිසේත් ජපානයට පෞද්ගලික කාරණයක් වන්නේ නැහැ" චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් අවධාරණය කළේය.

අඟහරුවාදා TEPCO ප්‍රකාශයෙන් පසු දකුණු කොරියානු රජය හදිසි උප-අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත් වූ අතර, එම අවස්ථාවේදී රජය සැලසුම් කර ඇති මෙම විකිරණශීලී අපජලය බැහැර කිරීම පිළිබඳව ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් ලබා නොදීම සම්බන්ධයෙන් ජපානයට විවේචන එල්ල කළේය.

"අපගේ නැවත නැවතත් කනස්සල්ල ප්‍රකාශ කිරීම සහ සැලැස්ම ඉවත් කර ගන්නා ලෙස දිගින් දිගටම කළ ඉල්ලීම් නොතකා ජපානය ඒකපාර්ශ්විකව දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ සැලැස්ම සමග ඉදිරියට යන බැවින් අපි බරපතල කනස්සල්ල පළකර සිටිනවා." කොරියානු රජය පැවසීය.

ආරක්ෂාව සහතික කිරීම සහ දේශීය මසුන් ඇල්ලීමට සහ පරිසරයට වන බලපෑම අවම කිරීම සඳහා බලාගාරයේ සිට කිලෝමීටර 1 ක් පමණ දුරින් විශාල වශයෙන් පිරිපහදු කළ නමුත් තවමත් විකිරණශීලී ජලය සාගරයට මුදා හැරීමට TEPCO මෙසේ සැලසුම් කර ඇත. අවසර ලත් සීමාවන්ට වඩා අඩු විකිරණශීලී ද්‍රව්‍ය සාන්ද්‍රණය අඩු කිරීම සඳහා දූෂිත ජලය විශාල මුහුදු ජලය සමග තනුක කළ යුතු බව ඔවුන් කියයි.

කුඩා ප්‍රමාණවලින් හානිකර නොවන ට්‍රයිටියම් ජලයෙන් ඉවත් කළ නොහැකි නමුත් පිරිපහදු කිරීමට තෝරාගත් අනෙකුත් සියලුම සමස්ථානික මුදා හැරීමට පෙර ආරක්ෂිත මට්ටමට අඩුකළ හැකි බව ජපාන රජය සහ TEPCO නිලධාරීන් පවසයි.



Recommended Articles