ෆ්ලොරිඩා රෝහල් 49ක ICU ඇඳන් අවසන් වෙලා


ඇමෙරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති ෆ්ලොරිඩා ප්‍රාන්තයෙහි රෝහල් 49ක දැඩි සත්කාර ඒකකවල (ICU) ඇඳන් අවසන්ව ඇති බව ෆ්ලොරිඩා හි සෞඛ්‍ය ආරක්ෂණ පරිපාලන ඒජන්සිය වාර්තා කරයි.

එම රෝහල් 5ක් මියාමි ඩේඩ් හි උතුරින් පිහිටි බ්‍රෝවර්ඩ් පළාතේ පිහිටා ඇති අතර, එම ප්‍රදේශයට සෑම දිනකම රාත්‍රී 11 සිට අලුයම 5 දක්වා රාත්‍රී ඇඳිරි නීතියද පනවා තිබේ. මියාමි-ඩේඩ් හි දැඩි සත්කාර ඒකක 127% ක ධාරිතාවක් මේ වනවිට පවතින අතර, ඇඳන් 398ක් සඳහා ඇතුළත් කිරීම් 507ක් පවතී.

ඇමෙරිකා එක්සත් ජනපදය පුරාම ප්‍රාන්ත රැසක ආසාදිත අගය වේගයෙන් ඉහළ යෑමේ ප්‍රතිඵලයක් මේ ආකාරයෙන් දැඩි සත්කාර ඒකකවල ඇඳන් අවසන් වීමේ දැඩි අභියෝගයකටද සෞඛ්‍ය බලධාරීන් පත්ව සිටින බව වාර්තා වෙයි.

මෙවැනි පසුබිමක එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,763,395ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අද (20දා) අලුයම වාර්තා කරයි.

එසේම ඇමෙරිකාවේ නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 140,474ක් වාර්තා වන අතර, ලෝකයේ මෙම වසංගතයෙන් බලවත්ම පීඩාවට පත්වූ රාජ්‍ය බවටද ඔවුන් පත්ව තිබේ.



Recommended Articles