එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ කලාපයට දැඩි බලපෑමක් ඇති කරමින් ෆ්ලොරන්ස් චණ්ඩ මාරුතය ගොඩබිමට ඇතුළු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
උතුරු කැරොලීනාවේ, රයිට්ස්විලේ වෙරළ ප්‍රදේශයේ මෙම සුළි කුණාටුවේ ඇස පවතින අතර, මේ වනවිට පැයට කිලෝමීටර් 150ක පමණ සුළං දහරාවක් ඉන් ඇති කර තිබෙන බව කාලගුණ අංශ පවසයි.
බොහෝ නිවාස සම්පූර්ණයෙන් හෝ කොටස් ලෙස විනාශ වී ඇති අතර, තවත් මිලියන ගණනකට විදුලි බලය නොමැති බවද වාර්තා වෙයි.
මේ කාලගුණ තත්ත්වය සමග ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙන අතර, දැවැන්ත මුහුදු රළ ගොඩබිම් ඛාදනය කරමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.
මෙ අතර, උතුරු කැරොලීනා හි හෝටලයක් කඩා වැටීමෙන් පසුව එහි සිටි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුමක්ද සිදුව තිබේ.
මෙම සුළි කුණාටුවෙන් බේරීම සඳහා මිලියන 1.7ක ජනතාවට අනතුරු අඟවා තිබුණු බව ඇමෙරිකානු බලධාරීහු පවසති.
උතුරු කැරොලීනා ආණ්ඩුකාර රෝයි කූපර් පවසා සිටියේ ප්‍රාන්තයේ සියලු ජනතාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටි බවයි.
ඇරයුමකින් තොරව පැමිණෙන මෙම මෘගයා මගහැර සිටීමට සියල්ලන් සූදානම් විය යුතු බවද හෙතෙම අවධාරණය කර තිබේ.
මෙවැනි චණ්ඩ කාලගුණික තත්ත්වයක් හා ගංවතුර තත්ත්වයක් වසර 1,000කට පමණ බලාපොරොත්තු විය හැකි දෙයක් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවා අංශය පවසා සිටියේ ඉදිරි දින තුන හතර ඇතුළත උතුරු කැරොලීනා ප්‍රාන්තය සාමන්‍යයෙන් මාස 8ක කාලයේදී එම ප්‍රාන්තයට ලැබෙන වාර්ෂාපතනයට සමාන වර්ෂාපතනයක් ලබනු ඇති බවයි.