හොඳ මාර්ග ආරක්ෂාවක් ඉල්ලූ බංග්ලාදේශ සිසුන්ට ප්‍රහාරයක්


බංග්ලාදේශයේ මංමාවත්වල හොඳ මාර්ග ආරක්ෂාවක් ඉල්ලමින් වීදි බැස උද්ඝෝෂණය කළ බංග්ලාදේශ සිසුන් මැර ප්‍රහාරයකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

එරට ඩකා අගනුවරදී පැවති මෙම උද්ඝෝෂණයට එල්ල වූ ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කළේද යන්න පැහැදිලි නැතත්, මාධ්‍ය පවසන්නේ පාලක පක්ෂය හා සම්බන්ධ ශිෂ්‍ය සංවිධාන විසින් මෙම මැර ප්‍රහාරය දියත් කරන්නට ඇති බවයි.

ප්‍රහාරයෙන් උද්ඝෝෂණයට සම්බන්ධ වූ සිසුන් 25ක් පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

බංග්ලාදේශයේ මාර්ග ආරක්ෂණය අතිශය දුර්වල මට්ටමක පවතින නිසා ඊට එරෙහිව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර, දහස් ගණනක් සිසුන් මංමාවත්වල පැමිණ මෝටර් රථ නවත්වා ඒවායේ ගුණදොස් විචාරමින්, රියදුරන්ගේ විස්තර ලබාගනිමින් මීට එක්වී ඇත.

ආසන්න දිනකදී ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයෙකු වේගයෙන් ධාවනය වූ බස් රථයකට යට කරගෙන යාමෙන් සිදුවූ මරණ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය තීව්‍ර කර තිබුණි.

කෙසේ වෙතත්, උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුර පැය 24ක කාලයක් ජංගම උපකරණ සඳහා වූ අන්තර්ජාල පහසුකම් අවහිර කිරීමට රජය කටයුතු කර තිබුණි.

උද්ඝෝෂණයට සහභාගී වූවන්ට පහරදීමට සඳහා පැමිණි පිරිස් පැහැදිලිවම තවත් සිසුන් පිරිසක් ලෙස හඳුනාගත හැකි අතර, ඔවුන් පොලු මුගුරු අතැතිව උද්ඝෝෂකයන්ට එලව එලවා පහරදෙන දසුන් දැකගත හැකිය.



Recommended Articles