හොංකොං හි නවතම උද්ඝෝෂණයක් යළිත් ආරම්භ වී ඇති අතර, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඉල්ලා සටන්වදින කණ්ඩායම් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබේ.
දැනට සති කිහිපයක සිට හොංකොං රාජ්‍යයේ මෙවැනි දැවැන්ත උද්ඝෝෂණ සංවිධානය වෙමින් පවතින්නේ, එරට මවු රාජ්‍ය වන චීනය සමග ඇති කරගැනීමට ගිය චූදිතයන් පිටුවහල් කිරීමේ නීතියට එරෙහිවය.
ඒ අනුව, දැඩි රැකවල් මධ්‍යයේ ඊයේ ආරම්භ වූ උද්ඝෝෂණ වෙත දහස් ගණනක ජනතාවක් සහභාගී වී සිටි අතර, ඔවුන් රැකවල් නොතකා චීන මධ්‍යම රජයේ ගොඩනැගිල් පිහිටි භූමිය වෙත ඇතුළු වී තිබේ.
ඒ අනුව, උද්ඝෝෂකයන් රැසක් මේ වනවිට පොලීසිය සමග මුහුණට මුහුණ රැඳී සිටිමින් එහි සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මධ්‍යම රජය සමග සබඳතා පැවැත්වීම වෙනුවෙන් කටයුතු කරන මෙම ගොඩනැගිල්ල දෙසට උද්ඝෝෂකයන් විසින් බිත්තර ප්‍රහාරයක්ද එල්ල කර ඇති අතර, ඒ ඉදිරිපිට සටන්පාඨ රැසක් උද්ඝෝෂකයන් විසින් එල්ලා තිබුණි.
මේ අතර, අදාළ උද්ඝෝෂණය ආරම්භ වීමට පෙර විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් හොංකොං පොලීසිය විසින් සොයාගනු ලැබූ අතර, ඒවා සමග මෙම උද්ඝෝෂණයට සම්බන්ධ අත් පත්‍රිකාද තිබී ඇත.
මෙම ප්‍රබල පුපුරණ ද්‍රව්‍ය අල්කයිඩා වැනි ත්‍රස්ත සංවිධාන විසින් භාවිත කරන ඒවා බව පැවසෙන අතර, ඒවා කුමන අරමුණකින් මෙලෙස රැස්කර තැබුණේද යන්න පිළිබඳ පොලිස් පරීක්ෂණ සිදුවන බවද සඳහන් වෙයි.