හොංකොං පිටුවහල් නීතිය ජනතා විරෝධය හමුවේ ආපසු හැරෙයි


හොංකොං හිදී චෝදනාවන්ට ලක්වූවන්ගේ නඩු විභාගයන් සඳහා ඔවුන් චිනය වෙත පිටුවහල් කිරීම සඳහා වූ නව පනත අවසානයේදී හකුලා ගැනීමට හොංකොං පාලනය කටයුතු කර තිබේ.

ඒ අනුව, විශාල මහජන විරෝධයකට මුල් වූ පනත් කෙටුම්පත අත්හිටුවීමට පියවර ගත් බව හොංකොං ප්‍රධාන විධායක පාලිකා කැරී ලෑම් පවසා සිටියාය.

හොංකොං වැසියන් ලක්ෂ ගණනින් වීදි බැස එම පනත් කෙටුම්පතට එරෙහිව පසුගියදා විශාල හඬක් නැගූ නමුත්, ප්‍රධාන විධායක නිලධාරිනී කැරී ලෑම් මෙම නෛතික ක්‍රියාදාමය කිසිදු ලෙසකින් නතර නොකරන්නේය යන දැඩි ස්ථාවරයෙහි මුල සිටම සිටියාය.

මේ ආකාරයෙන් සැකකරුවන් චීනයට භාරදීම නිසා බීජිං පාලනයෙන් හොංකොං වෙත එල්ල වන බලපෑම වැඩිවනු ඇති බවට විරෝධතා දැක්වූවන් පවසා සිටියත්, චීනය කියා සිටියේ බටහිර බලවේග විසින් මෙම විරෝධතාව ගොඩනැගූ බවය.

තායිවානයේදී සිදු කරනලද මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් සැක කෙරෙන හොංකොං තරුණයෙක් හොංකොං කරා පළාවිත් නීතියෙන් බේරී සිටීමට තැත් කිරීමේ සිද්ධියකින් අනතුරුව මෙම කෙටුම්පත පිළිබඳ අදහස යොමුවිය.

එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් විස්සක් සමග හොංකොං දූපත් බලධාරීන් සැකකරුවන් භාරදීමේ ගිවිසුම් අත්සන් කර ඇති නමුත් චීනයේ ප්‍රධාන පාලනයත් සමග එවැනි ගිවිසුමකින් බැඳී නැත.

අවශ්‍ය සැකකරුවන් භාර දීමට අදාළ යෝජිත නව නෛතික වෙනස්කම් අනුව, දූෂණය සහ මිනී මැරීම වැනි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන සැකකරුවන් හොංකොං පාලනයෙන් ඉල්ලා සිටීමට චීනය, තායිවානය සහ මැකාවු දූපතේ බලධාරීන්ට බලය පැවරීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත ඉදිරියට ගෙනයෑම නතර කොට ඒ සම්බන්ධයෙන් යළි අවධානය යොමු කරන ලෙස කරන ඉල්ලීම්වලට තමන් සවන් දුන් බව කැරී ලෑම් පවසා සිටියාය.



Recommended Articles