හිම කුණාටුවෙන් වැසුණු පාකිස්තාන ඛේදවාචකය


අධික හිම පතනයට හසුව වාහනවල සිරවී සිටි පුද්ගලයින් 22දෙනෙකු මිය යාමෙන් පසු, පාකිස්තාන හමුදාව විසින් ඉරිදා දහස් ගණනක් සංචාරකයින්ට රැකවරණය දෙමින් පකිස්ථානයේ කඳු මුදුන් නගරයක් වටා මාර්ග පිරිසිදු කිරීම ආරම්භ කර තිබේ.

ඉස්ලාමාබාද් නගරයට කිලෝමීටර් 70ක් පමණ ඊසාන දෙසින් පිහිටි නිවාඩු නිකේතන නගරයක් වන මුරී නගරය, පසුගිය සතියේ අසාමාන්‍ය ලෙස අධික හිම පතනය හේතුවෙන් වැසී ගියේ කිසිවෙකුත් නොසිතූ පරිද්දෙනි.

සිකුරාදා සිට හිම කුණාටුව නිසා ගසා කඩා වැටී, මුහුදු මට්ටමේ සිට මීටර් 2,300ක ඉහළින් කඳු බෑවුම් සහ නිම්නවලට ඇලී ඇති නගරයට සහ ඉන් පිටතට යන පටු මාර්ග අවහිර කළේය.

"එය හිම නොවෙයි. අධික හිම පතනයක්ද නොවෙයි. එය පෙර නොවූ විරූ දෙයක් ... පැය කිහිපයකින් අඩි හතරක් හෝ පහක් සමග සියලුම දේ වැසී ගියා" නගරයේ පරිපාලක නිලධාරියෙකු පැවසීය.

"මෙතරම් විශාල හිම කුණාටුවක් මගේ ජීවිතයේ කිසි දිනෙක දැක නැහැ. තද සුළං, උදුරා දැමූ ගස් සමග හිම කුණාටු ඇති වුණා. අවට සිටි මිනිසුන් භීතියට පත් වුණා.." හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

සිකුරාදා වනවිට වාහන දහස් ගණනකින් 100,000කට ආසන්න අමුත්තන් නගරයට පැමිණ සිටි අතර, හිම කුණාටුවට පෙර සිටම විශාල වාහන තදබදයක්ද ඇති වූ බව නිලධාරීහු පැවසූහ.

ඒ අනුව සිකුරාදා රාත්‍රියේ හිම පතනයට හසු වූ වාහනවල සිටි පුද්ගලයින් 22දෙනෙකු මිය ගිය බව ඔවුහු පැවසූහ. මෙම මරණ සීතලෙන් හෝ රථය තුළ උණුසුම තබා ගැනීමට රියදුරන් එන්ජින් ක්‍රියාත්මක කරන විට පිටවන දුමාරයෙන් කාබන් මොනොක්සයිඩ් විෂ වීමෙන් සිදුවන්නට ඇති බවද විශ්වාස කෙරෙයි.



Recommended Articles