හයිටි ජනාධිපති ජොවනෙල් මොයිස් පසුගිය වසරේ ජූලි මාසයේදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරුවෙකු වූ හිටපු හයිටි සෙනෙට් සභිකයෙකු ජැමෙයිකානු බලධාරීන් විසින් රඳවාගෙන ඇති බව ජැමෙයිකානු ජාතික පොලිසිය පවසයි.
ජැමෙයිකාවේ කොස්තාපල් බලකායේ ප්රකාශක ඩෙනිස් බෲක්ස් රොයිටර් පුවත් සේවයට පැවසුවේ, මොයිස්ගේ ඝාතනයේ සැකකරුවෙකු ලෙස බලධාරීන් විසින් නම් කරන ලද සුප්රසිද්ධ හයිටි දේශපාලනඥයෙකු වන ජෝන් ජොයෙල් ජෝසප් සිකුරාදා බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි.
මෙම අත්අඩංගුවට ගැනීම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ඉල්ලීමකට අනුව සිදු වූවක්ද යන්න පිළිබඳව අදහස් දැක්වීම බෲක්ස් ප්රතික්ෂේප කළේය. ජැමෙයිකාවේදී ජෝසෆ් අත්අඩංගුවට ගනු ලැබුවේ කොතැනදීද යන්නද අපැහැදිලි විය.
රයිෆල් ගිනි අවිවලින් සන්නද්ධ ඝාතකයින් ජුලි 7 වැනි දින පෝට්-ඕ-ප්රින්ස් නගරයට ඉහළ කඳුකරයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට කඩා වැදී මෙම ඝාතනය සිදුකළේය.
මොයිස් ඝාතනයෙන් දින කිහිපයකට පසු එවකට ජාතික පොලිස් ප්රධානී ලියොන් චාල්ස් පැවසුවේ ජෝසෆ් මෙම කුමන්ත්රණයේ ප්රධාන සැකකරුයෙකු බවය. ඔහු මේ සඳහා ආයුධ සැපයූ බවටත් ප්රහාරය සැලසුම් කළ බවටත් චෝදනා කළද ඒ වනවිටත් පොලිසිය ඔහු සොයමින් සිටියේය.
කැරිබියන් ජාතියේ දේශපාලන රික්තකයක් ඇති කළ ජූලි මස සිදුවූ මෙම ඝාතනයෙන් පසු හයිටිය විසින් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. නමුත් එය කිසිවෙකුට චෝදනා කර නොමැති අතර, විමර්ශනය ප්රමාද කිරීම සහ නිලධාරීන් බිය ගැන්වීම පිළිබඳව එරටින් පැමිණිලි ලැබී තිබේ.