පාකිස්තානයේ මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම් සිදුවන මේ අවස්ථාවේදී එරට හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් ඉදිරියෙන් සිටින බව පූර්ව මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණයන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ඉම්රාන් ඛාන් නියෝජනය කරන පී.ටී.අයි. පක්ෂය ඉදිරියට පැමිණ තිබුණත් පැහැදිලි බහුතරයක් සහිත රජයක් පිහිටුවීමට නම් ඒකාබද්ධ රජයක් වෙත යෑමට සිදුවනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ප්‍රතිඵල නිකුත් කිරීම තරමක් මන්දගාමී ස්වරූපයකින් සිදුවුවත්, මැතිවරණ කාර්යාලයේ තාක්ෂණික අර්බුදයක් පවතින බවට වූ කටකතා සාවද්‍ය යැයි එරට මැතිවරණ බලධාරීහු පවසති.
ඊයේ මැතිවරණ දිනය එතරම් සුබදායී දිනයක් නොවූ අතර, ඡන්ද මධ්‍යස්ථානයක් අසල සිදුවූ බෝම්බ පිපිරීමකින් ජීවිත හානි රැසක් සිදුවිය.
මෙම මැතිවරණය පාකිස්තාන ඉතිහාසයේ තවත් ඓතිහාසික මැතිරවණයක් වන්නේ සිවිල් ආණ්ඩුවක් විසින් සම්පූර්ණ ධුර කාලය අවසන් කර තවත් සිවිල් ආණ්ඩුවක් වෙත බලය පවරන එරට ඉතිහාසයේ දෙවැනි මැතිවරණය මෙය වීමයි.
මේ වනවිට ඡන්ද මධ්‍යස්ථාන 42ක පමණ ඡන්ද ගණන් කිරීම් අවසන්ව ඇති බව මැතිවරණ කොමිසම පවසන අතර, එරට පාර්ලිමේන්තුවේ ආසන 272න් 113ක බලය දැනටමත් ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය දිනාගෙන සිටියි.