තමාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දැනගත් විට දැඩි කම්පනයකට පත්වූ බවත්, එය සුව කළ නොහැකි යැයි තමා සිතූ බවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූවෙකු චීන මාධ්‍ය වෙත පවසා සිටියේය.
46 හැවිරිදි යැං පසුගිය ජනවාරි 24 වැනි දින සම්පූර්ණ සුවය ලබා වෙන්ෂෝ අංක 6 මහජන රෝහලෙන් පිටව යන විට නැගෙනහිර චීනයේ ෂෙජියැන්ග් පළාතේ කොරෝනා වෛරස් රෝගී තත්ත්වයෙන් මුලින්ම සුවය ලැබූවෙකු ලෙස වාර්තා විය. කෙසේ වෙතත්, ඔහු එම රෝගය සමග පැවති සටන ජයගත්තද, දැන් ඔහු තවත් සටනක නිරතව ඇති බව මාධ්‍ය වාර්තා පවසයි. ඒ මෙම රෝගය වැළඳුණු සෙසු ගම්වැසියන් අපකීර්තියට පත්වීමට එරෙහි සටනකය.
"එය මට වැළඳී ඇති බව ඇති බව තහවුරු වූ විට, මා කම්පනයට පත් වුණා. එය සුවකළ නොහැකි යැයි මා සිතුවා. මොකද මම කිසිම දිනක වුහාන් හි තොග මුහුදු ආහාර වෙළෙඳ පොළට යන කෙනෙක් නොවෙයි. මම ඉන් බොහෝ එපිට ජීවත් වන කෙනෙක්. මට වෛරසය ඇතුළු වී ඇති බවට වූ වෛද්‍ය සහතික නොදුටුවේ නම් මා එය විශ්වාස කරන්නේවත් නෑ."
ඉන් අනතුරුව තමා විඳි තත්ත්වයන් ඔහු යළිත් විස්තර කරන්නට වූයේ මෙලෙසිනි.
"ගමේ මිනිසුන් මාව දුටුවිට හරියට යක්ෂයෙකු දුටු ආකාරයෙන් ඔවුන් බොහෝ සේ බියට පත්ව සිටියා. මට ගෙදරට වී සිටින ලෙස ඉල්ලා බොහෝ ඇමතුම් ලැබුණා. ආහාර සහ අවශ්‍යතා මගේ නිවස ඉදිරිපිට දමා ගොස් තිබුණා. ”
දැන් සම්පූර්ණයෙන් සුවය ලබා සිටින යැං සති දෙකක කාලයක් නිවසේ හුදකලාව ගත කිරීමෙන් පසුව, නැවත පරීක්‍ෂණයක් සඳහා ඊයේ දිනයේ (08දා) රෝහලට පැමිණියේය. එහිදී ඔහු චීන මාධ්‍ය සමග මෙසේ විශේෂ පිළිසඳරකට එක්ව තිබුණි.
"සමහරු පවසන්නේ මේ රෝගයට කිසිසේත් ප්‍රතිකාර කළ නොහැකි බවයි. මා සුව වී ඇති බව ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම අද පරීක්‍ෂා කිරීමට පැමිණි එක් ප්‍රධාන හේතුවක් වුනේ මට දැන් වෛරසය නැති බව ජනතාව ඒත්තු ගැන්වීමටයි. මා සුවය ලබා ඇති බව ඔවුන්ට තහවුරු කිරීමටයි."
යැං යළිත් සිය කටහඬ අවදි කරමින් කියා සිටියේය.
ජනවාරි 3 වැනිදා ඔහු වුහාන් සිට වෙන්ෂෝ වෙත ආපසු ගොස් ඇති අතර, ඔහුව මුලින්ම රෝහල්ගත කර තිබුණේ හදිසි අනතුරකින් ඉල ඇටයක් බිඳීම හේතුවෙනි. කෙසේ වෙතත් ඔහුගේ පෙණහලුවල ඇතිවන දැඩි වේදනාව මූලික ප්‍රතිකාරවලින් සමනය කිරීමට අපොහොසත් වූ නිසා නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඔහු පරීක්ෂාවකට ලක් කෙරිණි.
ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍ය ඩයි ජියානි චීන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් සිදුකළ ප්‍රතිකාරයන් ගැන මෙසේ අදහස් දක්වන්නට විය.
"ඔහු ජනවාරි 17 වැනිදා අපේ රෝහලට මාරු කරන විට, ඔහුට කැස්ස සහ පපුවේ තද ගතියක් දැනී තිබුණා. නමුත් ඔහුගේ සමස්ත තත්ත්වය එතරම් නරක අතට පත්ව තිබුණේ නැහැ." යැංගේ ප්‍රතිකාර භාරව සිටි වෛද්‍ය ඩයි ජියානි පැවසීය.
"සතියක පමණ කාලයකදී ඔහුගේ පපුවේ සීටී ස්කෑන් පරීක්ෂණය සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කළා. දිගටම ප්‍රතිකාර ලබාදෙන අතර, අඛණ්ඩව ඔහුගේ රුධිර සාම්පල පරීක්ෂා කරන්නට වුණා. ක්‍රමයෙන් ඔහුගේ ශරීරයේ වෛරසය ඉවත් වෙමින් තිබුණා. ඔහුගේ සායනික රෝග ලක්ෂණ අතුරුදහන් වුණා. ඒ නිසා ඔහුට රෝහලෙන් පිටවීමට හැකි තත්ත්වයක් ඇති බව අප තහවුරු කර ගත්තා."