හාවඩ් සිසුවියන් තමන්ට සිදුවූ ලිංගික හිංසන ගැන නඩු මගට


ඇමෙරිකා එක්සත් ජනපදයේ, සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයේ උපාධිධාරී සිසුවියන් තිදෙනෙකු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු විසින් සිදුකළේ යැයි කියන ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයට එරෙහිව නඩු පවරා තිබේ.

පැමිණිලිකරුවන් වන මාග්‍රට් සර්වියෙන්ස්කි, ලිලියා කිල්බර්න් සහ අමුල්යා මන්දවා යන සිසුවියන් විසින් මෙසේ චෝදනා ගොනුකර ඇත්තේ, අප්‍රිකානු සහ අප්‍රිකානු ඇමෙරිකානු අධ්‍යයනය සහ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජෝන් කොමාරොෆ් නැමැත්තා ඉලක්ක කරමිනි.

චෝදනාවට ලක්ව සිටින මහාචාර්යවරයා සිසුවියන්ගේ කැමැත්තෙන් තොරව ඔවුන් සිප ගනිමින්, ශරීර ස්පර්ශ කරමින්, සිය ලිංගික ආශාවන් තෘප්ත කර ගැනීමට උත්සාහ කරමින් සහ මේ සම්බන්ධයෙන් සිසුවියන් පැමිණිලි කළහොත් ඔවුන්ගේ වෘත්තීය ජීවිත කඩාකප්පල් කරන බවට තර්ජනය කරමින් ඔවුන්ව හිංසනයට ලක්කර ඇති බවට නඩු විභාගයේදී චෝදනා ගොනුවී තිබේ.

එහිදී මහාචාර්යවරයාගේ හිරිහැර පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය ක්‍රියා නොකිරීමෙන් පෙන්නුම් කරන්නේ උදාසීනත්වයේ ආයතනික ප්‍රතිපත්තියක් බවට හාවඩ් විශ්වවිද්‍යාලය වෙත සෘජුවම චෝදනා එල්ල වී ඇති අතර, විශ්වවිද්‍යාලයේ මෙම උදාසීන පද්ධතිය විසින් නිර්මාණය කර ඇත්තේ එහි කීර්තිය සහ එහි සිසුන්ගේ වියදමින් එම කීර්තිය පවත්වාගෙන යන පීඨය ආරක්ෂා කිරීම පමණක් බවටද ඇඟිල්ල දිගුවී තිබේ.

නඩු විභාගයට අනුව ජූරි නඩු විභාගයකින් තීරණය කළ යුතු වන්දි සහ දඬුවම් මෙන්ම, ඔවුන්ගේ නීතිඥ ගාස්තුද මෙම පැමිණිලිකාර සිසුවියන් තිදෙනා අපේක්ෂා කරයි.

කෙසේ වෙතත් හාවඩ් විශ්ව විද්‍යාලය කියා සිටියේ ඔවුන් නඩුවේ චෝදනාවලට විරුද්ධ වන බවත්, විශ්ව විද්‍යාලය විසින් ගෙන ඇති කල්පනාකාරී පියවරයන් කිසිදු ආකාරයකින් සාධාරණව හෝ නිවැරදිව මෙහිදී නියෝජනය වී නොමැති බවත්ය.

නඩුවේ හඳුනාගෙන ඇති නමුත් විත්තිකරුවෙකු ලෙස නම් කර නොමැති මහාචාර්ය කොමාරොෆ්ගේ නීතීඥයින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ කිසිඳු ශිෂ්‍යාවකට හිරිහැර කිරීම හෝ පළිගැනීම් කිරීම තම සේවාදායකයා තරයේ ප්‍රතික්ෂේප කරන බවය. ඔහු ශිෂ්‍යාවන් සිපගත් හෝ නුසුදුසු ලෙස ස්පර්ශ කළ බවට එල්ල වන චෝදනාද ඔවුන් ප්‍රතික්ෂේප කළේය.

"මහාචාර්ය කොමරොෆ් ඔහුගේ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශාරදයෙක් පමණක් නොවෙයි, ඔහු දශක ගණනාවක් පුරා ශිෂ්‍ය පරම්පරාවන්ට ඉගෙනුම් සිදුකළ සහ ඔවුන්ව ඉදිරියට ගෙන යාම සඳහා තම ශක්තිය කැප කළ ගැඹුරු සැලකිල්ලක් දක්වන පුද්ගලයෙක්" ඔහුගේ නීතීඥයන් සිදුකළ ප්‍රකාශයේ දැක්වේ. "සැබෑ සාක්ෂිවලට වඩා ඕපාදූප සහ මනඃකල්පිතයන් මත පදනම්ව ඔහුගේ වෘත්තියට එල්ල කරන ප්‍රහාර ලැජ්ජා සහගතයි." යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ.



Recommended Articles