හයිටි ඇමෙරිකානුවන් 2නෙක් ජනපති ඝාතනයට සම්බන්ධලු


හයිටි ඇමෙරිකානුවන් යැයි විශ්වාස කරන දෙදෙනෙකු, එරට ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව හයිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගත් එක් අයෙකු පෝර්ට් ඕ ප්‍රින්ස් හි කැනේඩියානු තානාපති කාර්යාලයේ හිටපු ආරක්ෂකයෙකු යැයි කියනු ලැබේ.

හයිටියේ මැතිවරණ ඇමති මතියස් පියරේ මාධ්‍ය වෙත පැවසුවේ බදාදා අලුයම තුවක්කුකරුවන් විසින් ජනාධිපති ජොවැනෙල් මොයිස්ව සිය නිවසේදී නිර්දය ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හයිටි හි ජාතික පොලිස් අධ්‍යක්ෂ ලියොන් චාල්ස් පවසන පරිදි තවත් සැකකරුවන් 7 දෙනෙකු පොලීසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස් ඇත.

කෙසේ වෙතත් මෙසේ අත්අඩංගුවට ගැනුණු කැනේඩියානු තානාපති කාර්යාලයේ සේවය කළ ජේම්ස් සොලගේස් නැමැත්තා සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු හෙළි කළද, අනෙක් හයිටි ඇමෙරිකානුවා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළේ නැත.

මේ අතර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ හයිටි ඇමෙරිකානුවන් අත්අඩංගුවේ පසුවන බවට වාර්තා වී ඇති නමුත් එය තහවුරු කිරීමට හෝ අදහස් දැක්වීමට නොහැකි බවයි.

සොලගේස් නැමැත්තා තමන් සහතිකලත් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෙකු ලෙස විස්තර කර ඇති අතර, නිවැසියන් සඳහා උපකාර කිරීම සඳහා දකුණු ෆ්ලොරිඩාවේ 2019 දී පිහිටුවන ලද පුණ්‍යායතනයක් සඳහා වෙබ් අඩවියක් පෙනුවෙන්ද පෙනී සිටියේය.

එම පුණ්‍යායතනය සඳහා වූ වෙබ් අඩවියේ සොලගේස් කියා සිටියේ තමා මීට පෙර හයිටියේ කැනේඩියානු තානාපති කාර්යාලයේ ආරක්ෂකයෙකු ලෙස සේවය කළ බවයි. කැනේඩියානු තානාපති කාර්යාලය වහාම අදහස් දැක්වූයේ නැති අතර, අදාළ පුණ්‍ය ආයතනයද අදහස් දැක්වීමක් නොකළේය.

ඒ අනුව හයිටි ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විදේශීය අතපෙවීමක් ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වෙමින් පවතින අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමර්ශනය කෙරෙන බව හයිටි පොලිස් අධ්‍යක්ෂවරයා පැවසීය.

අගමැති ක්ලෝඩ් ජෝශප් පොලීසියේ සහ හමුදාවේ සහාය ඇතිව හයිටියේ නායකත්වය භාර ගත් අතර බ්‍රහස්පතින්දා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ව්‍යාපාර නැවත විවෘත කර නැවත සේවයට යන ලෙසයි.



Recommended Articles