හතු සෙවීමට ගිය සිරියානු වැසියන් IS ත්‍රස්තයන්ට බිලි


කාන්තරයේ වැවෙන හතු එකතු කිරීමේ නිරත සිරියානු වැසියන් පිරිසක් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් අතින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිරියානු මාධ්‍ය පෙන්වා දුන්නේ 30කට වැඩි සාමාන්‍ය වැසියන් පිරිසක් මෙම සිද්ධියේදී ත්‍රස්තයන් අතින් වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇති බවයි.

සලාමියා නගරයේ රෝහල් අධ්‍යක්ෂවරයාට අනුව, වෙඩි ප්‍රහාරයන්ට ලක්ව ඇති පුද්ගලයන්ගෙන් 26දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සිද්ධියට සතියකට පෙර සිරියාවේ අල් වටාන් පුවත්පත විසින්ද හාමා කාන්තාර ප්‍රදේශයේ හතු සෙවීමට නොයන ලෙසට ජනතාවට අවවාද කර තිබුණි.

විශේෂයෙන්ම, නොපිපිරුණු බිම් බෝම්බ සහ ෂෙල් වෙඩි මෙන්ම, පළාතේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ගැවසීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබුණත්, ඒ පිළිබඳ තැකීමක් නොකර ඒ වෙත ගමන්කළ පිරිස් මේ අවාසනාවන්ත සිදුවීමට ගොදුරුව තිබේ.



Recommended Articles