සෞදියට එල්ල වූ බැලස්ටික් මිසයිල ප්‍රහාරය ව්‍යර්ථ කෙරේ


සෞදි අරාබියේ තෙල් නිධි බහුල නැගෙනහිර කලාපය ඉලක්ක කරගත් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් සාර්ථකව ව්‍යර්ථ කළ බව යේමනයේ හොවුති හමුදාවට එරෙහිව සටන් වදින සෞදිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් පවසයි.

සෞදි අරාබියේ දමාම් නගරයට ඉහළදී මෙම මිසයිලය තවත් ප්‍රති මිසයිලයක ආධාරයෙන් එහි ගමන වළක්වමින් විනාශ කළ බව නම සඳහන් නොකළ සෞදි ආරක්ෂක අංශ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඉරානයේ පිටුබලය ලබන හොවුති හමුදාවන් වෙත මෙම ප්‍රහාරයේ චෝදනාවන් එල්ල කළද, ඔවුන් තවමත් එහි වගකීම භාරගෙන නොමැති බවද කියයි.

රටේ ජසාන් සහ නජ්රාන් දෙසට ගමන් කළ බැලැස්ටික් මිසයිලය අත්හිටුවා විනාශ කළ බව සෞදි ඒකාබද්ධ හමුදා පැවසුවේ, සෞදි රාජධානිය දෙසට ගමන් කළ පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන් යානා තුනක්ද විනාශ කළ බව සිහිපත් කරමිනි.

නැගෙනහිර සෞදිය සැලකිය යුතු තෙල් යටිතල පහසුකම්වලින් සමන්විත වන අතර, එය මීට පෙර ඉලක්ක කරගත් සහ ගුවන් ප්‍රහාරයන්ට ගොදුරු විය. 2019 සැප්තැම්බර් මාසයේදී නැගෙනහිර අරම්කෝ කම්හල් දෙකකට එල්ල වූ ප්‍රහාරයකින් රටේ තෙල් නිෂ්පාදනයෙන් අඩක් තාවකාලිකව බිඳ වැටුණි.



Recommended Articles