සෞදි කාන්තාවන්ට රිය පැදවීමට තිබූ තහනම නිල වශයෙන් ඉවතට


සෞදි කාන්තාවන්ට රිය පැදවීම තහනම් කරමින් දශක කිහිපයක් පුරා පැවති දැඩි නීතිය ඉවත්ව යමින් ඔවුන්ට නිල වශයෙන් සුක්ඛානම ඉදිරියේ වාඩිවීමේ අවස්ථාව ඊයේ (23දා) මධ්‍යම රාත්‍රියේ සිට උදාවිය.

මෙම සුවිශේෂී අවස්ථාව සෞදි කාන්තාවන්ට හිමිවන බව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අනාවරණය කෙරුණු අතර, මෙම මස මුලදී ප්‍රථම රියදුරු බලපත්‍රය සෞදි කාන්තාවක වෙත නිකුත් කරමින් ඒ සඳහා නිල අනුග්‍රාහකත්වය රජය විසින් පිරිනැමීය.

මෙතෙක් කලක් කාන්තාවන්ට රියදුරු අසුනේ වාඩිවීමට අවස්ථාවක් නොවූ එකම රාජ්‍ය ලෙසද සෞදි අරාබිය සැලකුණු අතර, එහිදී, ඔවුන්ට තම නිවසේ මෝටර් රථයකින් හෝ ගමනක් යෑමට අවශ්‍ය වුවහොත් නිවසේ පිරිමි වැඩිහිටියෙකු හෝ විශේෂ රියදුරුවරයෙකුගේ සේවය ලබාගැනීමට සිදුවිය.

කෙසේ වෙතත්, කාලයක් පුරා කාන්තාවන්ට සෞදි අරාබිය තුළ පුරුෂයන්ට හා සමාන අවස්ථා ලබාදෙන ලෙස පැවති අරගලයක ප්‍රතිඵලයක් ලෙසද මෙම අවස්ථාව ඇතැම් විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, එම අරගලවලදී කාන්තා ක්‍රියාකාරිනියන් අට දෙනෙකු පමණ රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද සෞදි රජය කටයුතු කළ අතර, ඇතැම් අය තවමත් මේ හේතුව නිසා දීර්ඝ කාලීන සිර දඬුවම් බුක්ති විඳින බව ඇම්නෙස්ටි සංවිධානය පවසයි.

ඊයේ (23දා) මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙම අවසරය හිමිවීමත් සමග සෞදි කාන්තාවන් තම මෝටර් රථවලට ගොඩවී ඒ සතුට ඉතාමත් ඉහළින් සැමරූ බව සෞදි අරාබියෙන් ලැබෙන වාර්තාවල දැක්වෙයි.

සෞදි ආර්ථිකය තෙල් සම්පත මතම රැඳී නොසිට, එම ආර්ථිකය තුළ විවිධත්වයක් අපේක්ෂාවෙන් සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් විෂන් 2030 වැඩසටහන එරටට හඳුන්වා දෙනු ලැබූ අතර, මේ ආකාරයෙන් කාන්තාවන්ට රියදුරු බලපත්‍ර හිමිවීමද එහි දිගුවක් ලෙස සැලකෙයි.

කෙසේ වෙතත්, සෞදි කාන්තාවන්ට තවමත් සම්පූර්ණයෙන් පුරුෂාධිපත්‍යයෙන් මිදීමට අවස්ථාවක් ලබා නොදී ඇති බවද සඳහන් කළ යුතුය. 

එරට තුළ ක්‍රියාත්මක සුන්නි මුස්ලිම් ආධිපත්‍ය හෙවත් වහාබ්වාදය තුළ ඔවුන්ට විශේෂිත වූ ශරීරය ආවරණය වූ ඇඳුම් ඇඳීම, නොහඳුනන පුරුෂයන් සමග ඇසුරට නොයෑම, සංචාරයකට වෘත්තියකට හෝ සෞඛ්‍ය පහසුකම් සඳහා පුරුෂයෙක් කැටුව පමණක් යෑම ආදී නීතිමය රාමුවක් ඔවුන්ට තවමත් සෞදි කාන්තාවන්ට පිළිපැදීමට සිදුව තිබේ.



Recommended Articles