සියලුම ජාත්‍යන්තර පැමිණීම් සඳහා දින 7 නිරෝධායනයක්


ඉන්දියාවේ ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ රට තුළට පැමිණෙන සියලුම ජාත්‍යන්තර මගීන් ජනවාරි 11දා සිට දින 7ක නිවෙස් නිරෝධායනයකට ලක්විය යුතු බවයි.

ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් මෙහෙයවනු ලබන ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදන රැල්ල ඉහළ යාමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.

"සියලුම සංචාරකයන් දින හතක් සඳහා නිවෙස් නිරෝධායනය කරනු ලබන අතර ඉන්දියාවට පැමිණ 8 වැනි දිනයේදී RT-PCR පරීක්‍ෂණයට භාජනය වනු ඇති" යනුවෙන් එම නියෝගය දැක්වෙයි.

"ඔවුන් විසින් 8 වැනි දින සිදු කරන ලද RT-PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ඉන්දීය සිවිල් ගුවන් සේවා අන්තර්ජාල ද්වාරයට එක්කළ යුතු අතර, පසුව එය අදාළ ප්‍රාන්ත රජයන් විසින් නිරීක්ෂණය කරනු ඇති" නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.

කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵල ඍණාත්මක නම්, ඉදිරි දින හත සඳහා ඔවුන්ගේ සෞඛ්‍යය ස්වයං-අධීක්ෂණය කරන ලෙස මගීන්ට උපදෙස් දෙනු ලැබේ. කෙසේ වෙතත්, ධනාත්මක බව සොයා ගතහොත්, ඔවුන්ගේ සාම්පල තවදුරටත් ඉන්දියානු SARS-CoV-2 Genomics Consortium රසායනාගාර ජාලයට ජානමය පරීක්ෂණ සඳහා යවනු ලැබේ. එසේම ඔවුන් අසල වාඩි වී පැමිණි මගීන් සහ ගුවන් යානයේ කැබින් කාර්ය මණ්ඩලය සම්බන්ධතා ලෙස සලකනු ලැබේ.

නව නීතිවලට අනුව, සියලුම මගීන්ට ඔවුන්ගේ ගමනට පෙර ස්වයං ප්‍රකාශන පෝරමයක් සහ සෘණාත්මක RT-PCR වාර්තාවක් ඉන්දීය සිවිල් ගුවන් සේවා අන්තර්ජාල ද්වාරය වෙත ඉදිරිපත් කිරීමට සිදුවේ. ඔවුන්ට කොවිඩ්-19 පරීක්ෂණයක් ද කලින් වෙන්කරවා ගත යුතු අතර එය පැමිණීමේදී සිදු කෙරේ.

"ගුවන් තොටුපළේ සිටින සෞඛ්‍ය නිලධාරීන් විසින් සියලුම මගීන්ගේ උෂ්ණත්වය නිරීක්ෂණය කිරීමක්ද සිදුවන අතර, පරීක්ෂා කිරීමේදී රෝග ලක්ෂණ ඇති බව සොයා ගන්නා ලද මගීන් වහාම හුදකලා කර වෛද්‍ය මධ්‍යස්ථානයකට ගෙන යනු ඇති. ධනාත්මක බව පරීක්‍ෂා කළහොත්, අදාළ ප්‍රොටෝකෝලවලට අනුකූලව ඔවුන්ගේ සම්බන්ධතා හඳුනාගෙන කළමනාකරණය කළ යුතුය" යනුවෙන් නියෝගයේ සඳහන් වේ.

"අවදානම් සහිත" රටවලින් පැමිණෙන සංචාරකයින්ට පැමිණීමේ ස්ථානයේ දී කොවිඩ්-19 පරීක්ෂණ සඳහා සාම්පල ඉදිරිපත් කිරීමට සිදුවේ. ඔවුන් පිටත්ව යාමට හෝ සම්බන්ධක ගුවන් ගමනක් යාමට පෙර පැමිණීමේ ගුවන් තොටුපලේදී ඔවුන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල එනතෙක් බලා සිටිය යුතු බවද නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.



Recommended Articles