සෑම සතියකම ජීවිත 50000ක් කොවිඩ් බිලිගන්නවා - WHO


කොවිඩ්-19 වසංගත තත්ත්වය තවමත් සෑම සතියකම ගෝලීය වශයෙන් ජීවිත 50,000ක් පමණ බිලිගනිමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයෙසුස් පවසයි.

ටෙඩ්‍රොස් බදාදා මාධ්‍ය හමුවකදී මෙම ප්‍රකාශය කළ අතර එහිදී ඔහු එන්නත් සාධාරණත්වය සඳහා වන ඉල්ලීම් නැවත අවධාරණය කළේය.

"එන්නත් අසමාන ලෙස බෙදාගැනීමෙන් බොහෝ ජීවිත අහිමි වී ඇති බවට සැකයක් නැහැ" ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසීය.

"2021 යනු අපට මිලියන 3.5ක ජනතාවක් කොවිඩ්-19 හේතුවෙන් අහිමි වූ වසරයි. 2020 දී HIV, මැලේරියාව සහ ක්ෂය රෝගයෙන් මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක්. තවමත්, COVID-19 සෑම සතියකම ජීවිත 50,000 ක් පමණ බිලිගනිමින් සිටිනවා" ඔහු තවදුරටත් පැවසීය.

වසංගතය ආරම්භයේ සිට මේ වනවිට කොවිඩ්-19 නිසා ගෝලීය වශයෙන් මිලියන 5.3 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

වෛරසය මැඬලීමේ මාධ්‍යයක් ලෙස එන්නත් සමානාත්මතාව ඉල්ලා සිටීමේදී ටෙඩ්‍රොස් ඉදිරියෙන්ම සිටින අතර, සියලු දෙනා ආරක්ෂිත වන තුරු කිසිදු රටක් ආරක්ෂිත නොවන බව සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවලින් අඩකට පමණක් වසර අවසන් වනවිට ඔවුන්ගේ ජනගහනයෙන් 40%කට එන්නත් කිරීමේ ඉලක්කයට ළඟාවීමට හැකි වී ඇත්තේ ගෝලීය සැපයුමේ විකෘතිතා හේතුවෙන් බව බදාදා සිය දේශනයේදී පෙන්වා දුන්නේය.



Recommended Articles