සෑම අයෙකුම මුඛ ආවරණ පැලඳිය යුතු බවට විධායක නියෝගයක් ඉල්ලා සිටියි


එක්සත් ජනපදයේ ෆෙඩරල් රජය නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේ වගකීම අතහැර දැමූ බව නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කියුමෝ පවසයි.

"ඇමෙරිකාව අවදි කිරීමට කාලයයි. ධවල මන්දිරය කොරෝනා වෛරසයට මුහුණදීමේ ක්‍රමවේදය ප්‍රතික්ෂේප කර ඇති අතර, ෆෙඩරල් ප්‍රතිචාරය වැරදියි. එය දේශපාලන ප්‍රකාශයක් නොවෙයි. ඔබ දත්ත දෙස බැලුවහොත්, එය හරියටම පෙන්නුම් කරන්නේ එයයි" කියුමෝ සඳහන් කළේය.

මාස දෙකකට පෙර නිව්යෝක් ප්‍රාන්තයේ කළ දෙයට සමානව ඇමෙරිකාව පුරා සෑම අයෙකුටම මුඛ ආවරණයක් පැලඳීමට උපදෙස් දෙමින් විධායක නියෝගයකට අත්සන් කරන ලෙස කියුමෝ ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මුඛ ආවරණයක් පැලඳීමට ජනාධිපතිවරයා ආදර්ශයෙන් නායකත්වය දීමටත්, ජනාධිපතිවරයා මුඛ ආවරණයක් පැලඳ සිටීමටත් මේ අවස්ථාවේදී කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

"ඔවුන් මේ රටේ ජනතාවට ඇත්ත කියන්න පටන් ගත යුතුයි" කියුමෝ පැවසීය. ආණ්ඩුකාරවරයා කියා සිටියේ වේගයෙන් නැවත විවෘත කිරීම ආර්ථිකයට යහපත් නොවන බවත් ආර්ථිකය නැවත විවෘත කිරීම වැදගත් වුවද, වේගයෙන් විවෘත කිරීම හරහා සිදුවන්නේ වෛරසය වැඩිවී වෙළෙඳ පොළ පහත වැටීම පමණක් බවය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩි-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 2,588,020ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 126,131කි. මෙහිදී නිව්යෝක් ප්‍රාන්තය හෙවත් වෛරසයේ අපිකේන්ද්‍රය මේ වනවිට තත්ත්වය පාලනය කර තිබුණද, සෙසු ප්‍රාන්ත රැසක තත්ත්වය අවදානම් වෙමින් පවතින බව දත්ත වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles