සැහැල්ලු සීමා සමග දිගුකලක් යනවාට වඩා මෙය සාර්ථකයි


නවසීලන්තයේ එක් ආසාදිතයෙකු හමුවීම නිසා මුළු රටටම බලපවත්වන පරිදි ක්ෂණිකව ක්‍රියාත්මක කළ දින තුනක ලොක්ඩවුන් තත්ත්වය, වේගවත් සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නවසීලන්ත අගමැතිනිය එරට සෞඛ්‍ය විශේෂඥයන් සමග ගත් තීරණයක් බව කියයි.

"අපි සෑමවිටම වසංගතයට එරෙහිව අපේම ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමයක් පෙර සිටම අනුගමනය කළා. ඒක බොහොම දැඩි නමුත්, කලින්ම ගන්නා ක්‍රියාමාර්ගයක්. සැහැල්ලු සීමාවන් සමග දිගු කාලයක් මේක ඇදගෙන යනවාට වඩා එය බොහොම සාර්ථක ක්‍රමවේදයක් බව ඔප්පු වී තිබෙනවා." මාස හයකට පසුව නවසීලන්තය තුළම ආසාදිතයෙකු හඳුනාගත් ප්‍රථම අවස්ථාවේදී අගමැතිනිය කියා සිටියාය.

එරට විශාලතම නගරය වන ඕක්ලන්ඩ්හි හමුවූ මෙම ආසාදිතයාට පසුව, තවත් තහවුරු වූ ආශ්‍රිතයන් 5ක් ඇති බවද ඇය තහවුරු කළ අතර, ඒ සියල්ල මුල් ආසාදනය හා සම්බන්ධ බව කීවාය. මෙම නව ආසදිතයන්ගෙන් එක් අයෙකු ඕක්ලන්ඩ් රෝහලේ පූර්ණ එන්නත ලබාගත් හෙදියකි.

මේ තත්ත්වය තුළ නවසීලන්තය අවම වශයෙන් දින 3ක් වත් ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන 4 වැනි මට්ටමේ ලොක්ඩවුන් තත්ත්වයකට පත්ව ඇති අතර, ඕක්ලන්ඩ් නගරය දින හතක් අගුලු දමා ඇත.

එසේම රටේ ලොක්ඩවුන් තත්ත්වය යම් ලෙසකින් දීර්ඝ කිරීමට සිදු වුවහොත්, සිකුරාදා සිට වැටුප් සහනාධාරය නැවත ලබාදෙන බව මුදල් ඇමති ග්‍රාන්ට් රොබර්ට්සන් පැවසීය.

නවසීලන්තයේ අවසන් වරට වාර්තා වූ කොවිඩ්-19 ආසාදන සිද්ධිය පෙබරවාරි මාසයේදී වාර්තා විය. එරට තහවුරු කරන ලද සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,500කි. එමෙන්ම ආසාදිත මරණ 26ක් පිළිබඳව රට සමස්තයක් වශයෙන් වාර්තා කර ඇත.



Recommended Articles