ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල කළ විත්තිකාරිය ගමන්ගත් මෝටර් රථය හිතාමතා අනතුරකට ලක්කරමින් ඇයව ඝාතනය කිරීමට උත්සාහ කළේ යැයි ඉන්දීය පාලක පක්ෂ දේශපාලඥයෙකුට චෝදනා එල්ල වී තිබේ.
ඒ අනුව, මෙම දේශපාලඥයාට එරෙහිව ඉන්දීය පොලීසිය විසින් මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ චෝදනා යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේදී පසුගිය ඉරිදා ඔවුන් ගමන්කළ මෝටර් රථයේ ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් අදාළ තරුණිය බරපතළ තුවාල ලැබූ අතර, එම රථයේ ගමන්ගත් ඇගේ ඥාතීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
එම ලොරි රථයේ අංක තහඩු පවා ව්‍යාජ හෝ කිසියම් ආලේපයක් යොදා සැඟවීමට ගෙන තිබූ උත්සාහයක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණු අතර, ඇගේ පවුලේ ඥාතීන් සහ ඉන්දීය විරුද්ධ පක්ෂ විසින් මෙය හදිසි අනතුරක් නොවන බවත්, මෙය හිතමතා සිදුකළ මනුෂ්‍ය ඝාතන තැතක් බවටත් චෝදනා එල්ල කරන්නට විය.
භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරයෙකු වූ කුල්දීප් සෙන්ගාර් නමැති මෙම දේශපාලඥයා අදාළ තරුණිය දූෂණය කිරීමේ චෝදනා යටතේ මේ වනවිටත් බන්ධනාගාරගතව සිටින අතර, ඉන්දියාවේ ළමා ආරක්ෂණ පනත යටතේ ඔහු වරදකරු වුවත්, ඔහු දිගින් දිගටම තමා නිදොස් බව කියා තිබුණි.