සම්බාධක නිසා රිදුනත් අපට නම් අභියෝගයක් නෑ - පූටින්


බටහිර සම්බාධක රුසියාවට දැනුනත්, ඒවා සමස්ත ගෝලීය ආර්ථිකයටම මරු පහරක් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් විශේෂ රැස්වීමක් අමතමින් අවධාරණය කළේය.

"බටහිර රාජ්‍යයන් ඔවුන්ගේ ආයුධ ලෙස රුසියාවට එරෙහිව ආර්ථික, මූල්‍ය, වෙළෙඳ සහ වෙනත් සම්බාධක තෝරාගෙන තිබෙනවා. නමුත් දැන් ඔවුන්ටම ඒවායේ ප්‍රතිඵල බුක්ති විඳින්නට සිදුවෙලා. රුසියානු වෙළෙඳපොළ හා සම්බන්ධ ඉන්ධන, බලශක්තිය, ආහාර මිල ඉහළ යාමත්, රැකියා අහිමිවීමත් නිසා දැන් ඇමෙරිකාවට සහ යුරෝපයට අපට දැමූ සම්බාධක පාරාවළලල්ක් වෙලා." පූටින් පැවසීය.

වත්මන් තත්ත්වය රුසියානු ව්‍යවසායකයන්ට පාඩමක් වන අතර, ඔවුන් මින් ඉදිරියට ඥානවන්තව හවුල්කරුවන් තෝරා ගැනීමට ඉගෙන යුතු බව පැවසූ පූටින්, තම රට තුළම සිදුකරන ආයෝජනවලට වඩා විශ්වාසදායක කිසිවක් නොමැති බව මතක තබා ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.

"බටහිරින් එන දැඩි පීඩනය නොතකා අපේ රටේ දිගටම වැඩ කරන විදේශ සමාගම්වල ස්ථාවරය අපි දකිනවා. අනාගතයේදී, ඔවුන්ට නිසැකවම සංවර්ධනය සඳහා අමතර අවස්ථා ලැබෙනු ඇති. බියගුලු ලෙස තම හවුල්කරුවන් පාවා දුන්, රුසියාවේ සේවකයන්ට සහ ගනුදෙනුකරුවන්ට ඇති වගකීම අමතක කර, රුසියානු විරෝධී ව්‍යාපාරයට සහභාගී වෙමින් මායාවෙන් ලාභාංශ උපයා ගැනීමට ඉක්මන් වූ අය ගැනද දැන් අපට හොඳ අවබෝධයක් තිබෙනවා.

"නමුත් මෙහිදී බටහිර රටවල් ගත් ක්‍රියාමාර්ගය අප ගන්නේ නෑ. ඔවුන් බටහිර ඇති රුසියානු පෞද්ගලික සමාගම්වල වත්මක් අත්හිටුවීමට ක්‍රියාකළ ආකාරයෙන් අප කටයුතු කරන්නේ නෑ. රුසියාවේ සිටින විදේශීය සමාගම්වල දේපල අයිතියට අප ගරු කරනවා. ඔවුන්ගේ වත්කම් ජනසතු කිරීමක් හෝ වත්කම් අත්හිටුවීමක් අප සිදුකරන්නේ නෑ." රුසියානු නායකයා සිය අදහස් දැක්වීමේදී බටහිරට කණේ පහරක් එල්ල කළේය.

එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඔවුන්ගේ සගයන් විසින් ක්‍රියාත්මක කරන ලද සම්බාධක ප්‍රතිපත්තිය රුසියානු ජනාධිපතිවරයා විස්තර කළේ, "අපගේ සමස්ත දේශීය ආර්ථිකයට, අපගේ සමාජ මානුෂීය ක්ෂේත්‍රයට, සෑම පවුලකටම, රුසියාවේ සෑම පුරවැසියෙකුටම හිතාමතාම එල්ල කළ පහරක්" ලෙසය. එය මොස්කව් යුක්රේනයේ හමුදා මෙහෙයුම දියත් කිරීමට බොහෝ කලකට පෙර සිටම ක්‍රියාත්මකව තිබූ බව පැවසූ පූටින්, එය රුසියාව දුර්වල කිරීම සඳහා දැනුවත් සහ දිගුකාලීන උපාය මාර්ගයක් බවද ඔහු අවධාරණය කළේය.



Recommended Articles