සත් හැවිරිදි දැරියකට රසකැවිලි දී රැගෙනගොස් සමූහ දූෂණය කරලා


ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හිදී පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඉතා අමානුෂික ලෙස 7 හැවිරිදි දැරියක් සමූහ දූෂණය කිරීමේ සිද්ධියක් සමග ප්‍රබල සමාජ විරෝධයක් එල්ල වෙමින් පවතියි.

දහස් ගණන් ජනතාව වීදිවලට පැමිණ මෙම සැකකරුවන් වෙත උපරිම දඬුවම් ලබාදිය යුතු බව ඉල්ලා සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය අඟහරුවාදා දිනයේදී මෙම දැරිය පාසලෙන් පිටත සිටියදී පැහැරගෙන ගොස් ඇති අතර, ඇගේ ශරීරයේ පිහි ඇණුම් ප්‍රහාර පවා ඇති බව පොලීසිය පවසයි.

දැරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඇයට සිදුකර ඇති අපරාධය වචනයෙන් විස්තර කළ නොහැකි බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මේ වනවිට ඇගේ තත්ත්වය බරපතළ නොවූවත්, ඇයට සම්පූර්ණ සුවය ලැබීමට කාලයක් ගතවනු ඇති බව වෛද්‍යවරු පවසති.

මධ්‍ය ප්‍රදේශ් මහ ඇමතිවරයාද ජනතාව සමග එක්ව මෙම සැකකරුවන්ට මරණ දඬුවම පැමිණවිය යුතු බව ඉල්ලා සිටියි.

මේ අතර, අදාළ සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් නොවීමට ප්‍රාන්තයේ නීතීඥ සංගමයද තීරණයක් ගෙන තිබේ.

පාසල ඉදිරිපිට වූ සී.සී.ටී.වී. දර්ශනවලට අනුව එක් සැකකරුවෙකු මෙම දැරියට රසකැවිලි ලබාදී ඇය ඉවතට රැගෙන යන ආකාරය පැහැදිලිව දැකගත හැකි බව පොලීසිය කියයි.

ඉන්දියාව තුළ 2012 වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක් දිල්ලි නගරයේදී අමානුෂික ලෙස දූෂණයට ලක්කර මරා දැමීමේ සිදුවීමත් සමග කාන්තා හා ළමා හිංසනයට එරෙහිව දැඩි දඬුවම් ලබාදිය යුතු බවට සමාජ කතිකාවතක් පැවතියද, තවමත් එරට තුළ මේ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කරගැනීමට නොහැකි වී තිබේ.



Recommended Articles