සංවෘත අවකාශයක් තුළ මුඛ ආවරණ පලඳින්න - බොරිස්


සංවෘත අවකාශයක රැඳී සිටින මිනිසුන් (රැකියා ස්ථානයේ ආවරණය වූ ගොඩනැගිල්ලක් තුළ, වෙළෙඳ සැලක් තුළ, පොදු ප්‍රවාහනයේදී ආදී වශයෙන්) මුඛ ආවරණ පැලඳීම වඩාත් වැදගත් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අවධාරණය කරයි.

මෙවැනි සංවෘත ස්ථානවල මුඛ ආවරණයක් පැලඳ සිටීමේ විශාල වටිනාකමක් පවතින බවත්, ඒ අනුව මුඛ ආවරණ පැලඳීමේ නීති තවදුරටත් බලාත්මක කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

ලබන සතියේ සිට බ්‍රිතාන්‍යයේ සියලුම වෙළෙඳ සැල්වල මුඛ ආවරණ භාවිතය අනිවාර්යය කර තිබේ. දෙවැනි කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්වීමේ සැලසුම යටතේ මෙම නීති බලාත්මක කර ඇති අතර, යමෙකු මුඛ ආවරණයක් පැලඳ නොසිටියහොත් ඔහුට හෝ ඇයට පවුම් 100ක ස්ථානීය දඩයකට යටත්වීමටද සිදුවනු ඇත.

ජූලි මස 24 වැනි සිකුරාදා දින සිට ක්‍රියාත්මක වන මෙම නව රෙගුලාසිවලින් නිදහස් කරනු ලබන්නේ කුඩා දරුවන් හෝ යම් යම් ආබාධ සහිත පුද්ගලයින් පමණි. එහිදී වෙළෙන්ඳන් අනිවාර්යයෙන් මුඛ ආවරණයක් පැලඳ සිටිය යුතු අතර, වෙළෙඳ සැලට පැමිණෙන අයට මුඛ ආවරණයක් පලඳින ලෙස වෙළෙඳ සැල් හිමියා හෝ කාර්ය මණ්ඩලය බලකරනු වෙනුවට ඔවුන්ව ක්ෂණිකව පොලීසියට ස්ථානීය දඩයකට යටත් කිරීමට පොලීසියට බලය ලබාදී තිබේ.

මේ අතර ඉදිරිපෙළ වෛද්‍යවරුන් භාවිත කරන N95 වැනි මුඛ ආවරණ පැලඳීමක් මෙහිදී අවශ්‍ය නොවන අතර, ස්ථර තුනකින් යුතුව රෙදිවලින් නිමවූ මුඛ ආවරණයක් වුවද ප්‍රමාණවත් බව දන්වා තිබේ.

කෙසේ වෙතත් මුඛ ආවරණ පැලඳීමෙන් කිසිදු සෙතක් අත් නොවන ආකාරයට කටයුතු කරන මෝඩ මිනිසුන් තවමත් ඇතැම් අවස්ථාවල සමාජයේදී ඇස ගැටෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයටත් වඩා ඉහළින් සිතා කටයුතු කරන මෙවැනි බක පණ්ඩිතයන් නිසා අමාරුවේ වැටෙන්නේ ඔවුන් පමණක් නොවන බවද පැවසිය යුතුමය. 



Recommended Articles