සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වූවා යැයි කිම් නිලධාරීන්ට දෙහි කපලා


උතුරු කොරියාවේ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලයට සම්පූර්ණ නොකළ බවට චෝදනා කරමින් එරට නායක කිම් ජොන්ග්-උන් අසාමාන්‍ය ලෙස බලධාරීන් වෙත එක් දිගට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබේ.

සාමාන්‍යයෙන් කර්මාන්ත ශාලා නිරීක්ෂණය කිරීමට පැමිණෙන කිම්, එහි නිලධාරීන් හා සේවකයන් අගය කරමින් කතා කරන දසුන් මෙතෙක් කලක් අසන්නට ලැබුණි.

නමුත්, මෙවර අලුතින් ඉදිවන විදුලි බලාගාරයක් නැරඹීමට පැමිණි කිම් එහි කටයුතු තවමත් අවසන් කර නොතිබීමෙන් දැඩි කෝපයට පත්ව තිබේ.

උතුරු කොරියානු රජයේ මාධ්‍ය වාර්තා කරන ආකාරයට එම අවස්ථාවේදී එහි කටයුතු 70%ක් පමණ අවසන්ව තිබූ බව කියැවෙයි.

එමෙන්ම, සංචාරක නිකේතනයකට ගිය කොරියානු නායකයා එහි නාන තටාක අපිරිසුදුව තිබෙනු දැක තවදුරටත් කෝප වී තිබේ.

මෙම පුවතට එරට රජයේ පුවත්පත පිටු 9ක ඉඩක් ලබාදී ඇති අතර, එම පුවත ඉංග්‍රීසි මාධ්‍යයටද පරිවර්තනය කරමින් පළ කර තිබේ.

කෙසේ වෙතත්, මෙවැනි සිදුවීම් හෝ දෝෂයන් පැවති පෙර අවස්ථාවලදී ඒවා ප්‍රසිද්ධ නොකිරීමට කිම් පාලනය කටයුතු කළත් මේ වනවිට ඔහුගේ දේශපාලන ගමනේ පැහැදිලි වෙනසක් දැකිය හැකි බව දේශපාලන විචාරකයෝ පවසති.

විශේෂයෙන්ම පසුගිය මාසයේදී සිංගප්පූරුවේදී ඇමෙරිකානු නායකයා සමග පැවති ද්වීපාර්ශ්වික හමුවද ඔහුගේ මෙම හැරවුම් ලක්ෂ්‍යයේ සන්ධිස්ථානයක් විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.



Recommended Articles