සංචාරකයන් පිරිසක් රැගත් යාත්‍රාවක් තායිලන්තයේදී පෙරළී මරණ රැසක්


තායිලන්තයේ ෆුකේට් දුපත වෙත සංචාරක පිරිසක් රැගෙන ගිය මගී යාත්‍රාවක් පෙරළීමෙන් පුද්ගලයන් 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් අතුරුදන්ව සිටින බව විදෙස් වාර්තා පවසයි.

ෆීනික්ස් යනුවෙන් හැඳින්වුණු යාත්‍රාව අයහපත් කාලගුණය හමුවේ පෙරළී යන අවස්ථාවේදී එහි පුද්ගලයන් 105 දෙනෙකු ගමන් කර ඇති බවත්, ඉන් වැඩි පිරිසක චීන සංචාරකයන් බවත් සඳහන් වෙයි.

ඊයේ (05දා) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති අතර, එම පිරිස සොයා සිදුකරන මෙහෙයුම් කඩිනම් කර ඇති බව තායිලන්ත වාර්තා පෙන්වා දෙයි.

මේ අතර, ජලයේ තිබී ගොඩට ගනු ලැබූ මියගිය අයගේ සිරුරු ප්‍රමාණය සම්බන්ධයෙන් විවාදයක් මතුව තිබෙන අතර, ෆුකෙට් පළාත් මුදාගැනීම් මධ්‍යස්ථානය උපුටා දක්වන ප්‍රංශ පුවත් සේවයට අනුව එය 21ක් වුවත්, තායි රාජකීය නාවික හමුදාව උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසන්නේ එය 27ක් බවයි.

මේ අතර, විශේෂ කිමිදුම්කරුවන් යොදා ගනිමින් දියඹෙහි ගිලී ඇති යාත්‍රාවේ ඇති මළ සිරුරු සෙවීමේ කටයුතු අදද සිදුවෙමින් පැවතී ඇත.

අවට වූ ධීවර යාත්‍රා සහ මුදාගැනීමේ යාත්‍රා විසින් පුද්ගලයන් 48 දෙනෙකු බේරාගැනීමට සමත්ව ඇති අතර, මෙම අනතුර සිදුවූ ස්ථානයට සැපතුම් කිහිපයක් ඔබ්බෙන් කාන්තාවක බේරාගෙන තිබුණත් ඇගේ තත්ත්වය බරතළ බව කියැවෙයි.

අයහපත් කාලගුණය සම්බන්ධයෙන් නිවේදන කිහිපයක්ම නිකුත් කර තිබියදී යාත්‍රාව දියඹට දැමීම සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණ ඇරඹී ඇති බව තායිලන්ත පොලීසිය පවසයි.



Recommended Articles