සංක්‍රමණිකයන්ට අමානුෂිකවීම නිසා විශේෂ නියෝජිත පසුබසී


සිවිල් ආරවුල් සහ ස්වාභාවික විපත් හේතුවෙන් ඇමෙරිකාව වෙත පැමිණි හයිටි ජාතික සංක්‍රමණිකයින් යළිත් සිය මව්බිම වෙතම ගෙනයෑම අමානුෂික ක්‍රියාවක් බව පවසමින් ඊට විරෝධය පෑ ජෝ බයිඩන් පරිපාලනයේ හයිටියේ විශේෂ නියෝජිතයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඩැනියෙල් ෆූට් හයිටියේ ජනාධිපති ජොවනල් මොයිස්ගේ ඝාතනයෙන් පසුව එම තනතුරට පත් වූයේ ජූලි මාසයේදීය. කුඩා ටෙක්සාස් මායිමේ පිහිටි ඩෙල් රියෝ නගරයෙන් සංක්‍රමණිකයන් නෙරපා හැරීමට පෙර සිටම, වොෂිංටනය මේ හදිසි අවස්ථාව වෙනුවෙන් ක්‍රියාකළ ආකාරය සහ හයිටියේ තත්ත්වය වැඩිදියුණු කිරීමේ උත්සාහයන් සඳහා දැක්වූ මන්දගාමි ප්‍රවේශයම වෘත්තීය තානාපතිවරයා දැඩි කලකිරීමට පත්කර තිබූ බව කියයි.

ඒ අනුව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ෆුට් සඳහන් කර තිබුණේ තමා දැඩි බලවත් බලාපොරොත්තු සුන්වීමකින් හා තීරණාත්මක වෙනස්කම් අපේක්ෂා කරන අයගෙන් සමාව අයැදමින් වහාම ඉල්ලා අස්වන බවයි.

දහස් ගණන් හයිටි සරණාගතයින් සහ නීති විරෝධී සංක්‍රමණිකයින් හයිටි වෙත පිටුවහල් කිරීමේ එක්සත් ජනපදයේ මානුෂීය නොවන තීරණයක් සමඟ තමා එකඟ නොවන බවද හෙතෙම සඳහන් කළේය.



Recommended Articles