ෂැංහයි නගරය පුරා තවත් වටයකට කොවිඩ් පරීක්ෂණ


ෂැංහයි නගරය පුරා තවත් කොවිඩ්-19 න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ වටයක් පවත්වන බව ෂැංහයි හි උප නගරාධිපතිවරිය පවසයි.

පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව, නගරයේ විවිධ ප්‍රදේශ කලාප වර්ග තුනකට වර්ග කරන බවත් අගුලු දැමීම, පාලනය සහ පූර්වාරක්ෂාව අවදානම් මට්ටම් අනුව වෙනස් කරමින්, රෝග පැතිරීම වැළැක්වීමේ සහ පාලන පියවර ක්‍රියාත්මක කරන බවත් ඇය පැවසුවාය.

අප්‍රේල් 8 වැනි දින ෂැංහයි හි රෝග ලක්ෂණ සහිත කොවිඩ්-19 ආසාදිතයන් 1,015ක් සහ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 22,609ක් වාර්තා වූ බව ෂැංහයි නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ වූ ජින්ග්ලෙයි මාධ්‍ය හමුවේදී පැවසීය.

මෑත දිනවල නව කොවිඩ්-19 ආසාදන වැඩිවීමෙන් පසු නගරය තාවකාලිකව වසා දමා ඇති අතර, ඇතැම් ප්‍රදේශවාසීන් ඖෂධ ලබා ගැනීමේ දුෂ්කරතා වාර්තා කර ඇති බවද චීන මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, වසා දැමූ ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ අවශ්‍යතා එකතු කිරීම සඳහා අසල්වැසි කමිටු දේශීය වෛද්‍ය ආයතන සමග කටයුතු කරන අතර පොදු හෝ නිදන්ගත රෝග ඇති පුද්ගලයින් සඳහා බෙහෙත් වට්ටෝරු නිවසටම ලබාදීම සඳහා ස්වේච්ඡා සේවකයන් සංවිධානය කරන බව වූ පැවසීය.

නිවැසියන්ට නගරයේ ඔන්ලයින් රෝහල් ජාල හරහා වෛද්‍යවරුන් හමුවීමට සහ බෙහෙත් වට්ටෝරු පිරවිය හැකි අතර,  ෂැංහයි වෛද්‍ය ආයතන 85කට අන්තර්ජාල රෝහල් පහසුකම්ද ලබා දී ඇත.



Recommended Articles