වොෂිංටන් ඇතුළු ඇමෙරිකානු ප්‍රාන්ත රැසකම මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය කරයි


වොෂිංටන් ප්‍රාන්තයේ නව කොරෝනා වෛරසය යළිත් ඉහළ යමින් පවතින බැවින්, ආණ්ඩුකාර ජේ ඉන්ස්ලේ සිකුරාදා සිට මිනිසුන්ට මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කරමින් නීතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක මේ වනවිට වෛරසය පැතිරීම වේගවත් වෙමින් පවතින පසුබිමක ආණ්ඩුකාරවරුන් විසින් මුඛ ආවරණය අනිවාර්යය කිරීමේ නීති බලාත්මක කරමින් සිටියි.

වොෂිංටනයේ පැනවූ නිතියට අනුව නාසය සහ මුඛය ආවරණය වන ඕනෑම ආවරණයක් (ගෙදරදී මසාගත් මුඛ ආවරණයක් වුවද) මෙහිදී භාවිත කළ හැකි බව ආණ්ඩුකාරවරයා පවසයි.

"ඔබ මුඛ ආවරණයක් පලඳිනවා කියන්නේ, ඔබ අනෙකුත් මිනිසුන් ගැන සිතනවා කියන එකයි." ආණ්ඩුකාරවරයා පවසයි.

එමෙන්ම මෙම අවශ්‍යතාවය ඕනෑම ගෘහස්ථ පොදු අවකාශයක අදාළ වන අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගත නොහැකි නම් එළිමහනේද මෙය අනිවාර්යය වෙයි.

කෙසේ වෙතත් ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් මුඛ ආවරණයක් පැලඳ සිටින ආකාරය දැකගත නොහැකි වූ අතර, රටේ නායකයා ආදර්ශමත් නොවී ජනතාවට මෙවැනි සෞඛාරක්ෂණ ක්‍රම කොතරම් හඳුන්වා දුන්නද එය සියයට සියයක් සාර්ථක නොවන බවද විශේෂඥයෝ පවසති.

එසේම ට්‍රම්ප් ඇරිසෝනා ප්‍රාන්තයේදී ගෘහස්ත රැළියක් පැවැත්වීමටද සූදානම් වන අතර, මේ සම්බන්ධයෙන්ද සෞඛ්‍ය විශේෂඥයෝ මේ වනවිට සිය බලවත් විරෝධය ප්‍රකාශ කර ඇත.



Recommended Articles