වොෂිංටනයට රාත්‍රී 7 පසුවුණා වූහාන් උදේ 10 යි - අලුත් තතු


ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල දත්තවලට අනුව ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 1.4ක් පසුකර ඇත.  

ලොව පුරා කොරෝන වෛරස රෝගීන් 1,428,000කට වැඩි ප්‍රමාණයක් සහ මරණ 82,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. මෙම එකතුව සක්‍රීය රෝගීන් ගණන පිළිබිඹු නොකළත්, වෛරසය පැතිරීම ආරම්භ වූ දා සිට ඇති වූ සියලුම ආසාදිතයන් පාහේ මීට ඇතුළත්ය.

එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන් 400,000කට ආසන්නයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව එක්සත් ජනපදයේ අවම වශයෙන් රෝගීන් 398,185ක් වාර්තා වී තිබේ. රටේ සමස්ත මරණ සංඛ්‍යාව 12,844කි.

ලෝක සෞඛ්‍ය සංවිධානය 'චීනය කේන්ද්‍රීය' යැයි ට්‍රම්ප් චෝදනා කරයි.

අඟහරුවාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය 'සැබවින්ම කොරෝනා වෛරසය පතුරුවා හරින' බවයි. යම් ලෙසකින් එම සංවිධානය සඳහා වැඩිපුර අරමුදල් සැපයුවේ එක්සත් ජනපදය වුවත්, ඔවුන් 'චීනය කේන්ද්‍රීය' යැයි ට්‍රම්ප් චෝදනා කරයි. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහා වූ එක්සත් ජනපද අරමුදල් ඉවත් කරගන්නා ගන්නා බවට ට්‍රම්ප් තර්ජනය කිරීමක්ද කර තිබේ. මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ට්‍රම්ප් කියා ඇත්තේ තම පරිපාලනය ඒ පිළිබඳව සොයා බැලීමට යන බවයි.

වුහාන් නගරය වසා දැමීමේ සීමාවන් ඉවත් කරයි.

කොවිඩ්-19 වසංගතයේ පැතිරීම ආරම්භ වූ චීනයේ, හුබෙයි පළාතේ, වූහාන් නගරය වසා දමා දින 76කින් පසුව නිල වශයෙන් එම නගරය යළි මහජනතාවට විවෘත කර තිබේ. මේ අතර චීනය ඊයේ (07දා) වාර්තා කළේ ජනවාරි අග සිට වෛරසයෙන් කිසිවෙකු මිය නොගිය ප්‍රථම දිනය වාර්තා වූ බවයි.

ජපානය නිල වශයෙන් හදිසි තත්ත්වයකට පිවිසෙයි.

ජපානයේ ටෝකියෝ අගනුවර ඇතුළු වෛරස් ආසාදිත ප්‍රාන්ත 7ක හදිසි තත්ත්වයකට අවතීර්ණ වීම ඊයේ (07දා) සිදුවිය. මෙම හදිසි තත්ත්වය මැයි 6දා දක්වා ක්‍රියාත්මක වේ.

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා තවමත් දැඩි සත්කාර ඒකකයේ සිටියි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කොවිඩ්-19 රෝග ලක්ෂණ නරක අතට හැරීම නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබුණත්, ඔහු මේ වනවිට රෝහලේ යම් ස්ථාවර තත්ත්වයක පසුවන බවත්, සම්මත ඔක්සිජන් ලබාදීමේ ප්‍රතිකාර ඔහුට දිගටම ලැබෙන බවත් අග්‍රාමාත්‍ය ප්‍රකාශකයෙකු පවසයි.



Recommended Articles