ලොව පුරා යළිත් වරක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් වර්ධනය වන බැවින්, සමාජ හා ආර්ථික ප්‍රශ්න හමුවේ නැවත රටවල් අගුලුදැමීමට නොහැකිව රටවල් මුහුණපා ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානයෙන් පසුවන බව එහි සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (12දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය රයන් මෙම අදහස් පළකළේය.
"පළමුවෙන්ම හා ප්‍රධාන වශයෙන්ම ලෝකයේ බොහෝමයක් රටවල් මේ වසංගතයේ පළමු රැල්ලට තවමත් ගොදුරු වී සිටිනවා. බොහෝ රටවල් වක්‍රය සමතලා කිරීමට සමත් වී තිබෙනවා. අගුලු දැමීම්වලින් ඉවත්වීමේ මාර්ගය සෙමින් සෑදී තිබෙනවා."
"ඒ අනුව මේ වෛරසය පාලනය කිරීමේදී ඇතිවන ආර්ථික හා සමාජීය හානිය වළක්වා ගනිමින්, මේ වෛරසය පාලනය කිරීමේ සමතුලිත ක්‍රමවේදයක් අප විසින් සොයාගත යුතුව තිබෙනවා. මෙය දුෂ්කර වූ උභතෝකෝටිකයක්."
"එහිදී අගුලු දැමීම සඳහා විකල්පයක් තිබිය යුතුයි. මොකද අගුලු දැමීම නොමැති විට වෛරසය නැවත පැතිර යා හැකියි. නමුත් ප්‍රශ්නය වන්නේ ඔබට ලොක්ඩවුන් වෙනුවට ආදේශ කිරීමට ඇත්තේ කුමක්ද? යන්නයි." වෛද්‍ය රයන් පැවසීය.
මේ සඳහා ශක්තිමත් මහජන සෞඛ්‍ය පද්ධතියක්, කොවිඩ්-19 පරීක්ෂා කිරීම්, ආසාදිතයන් හා සමීපතමයන් ලුහුබැඳීම් මෙන්ම, අගුලු දැමීම් ඉවත් කිරීමට පෙර නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ගැන ජනතාව දැනුවත් කිරීම් අත්‍යවශ්‍ය බව ඔහු රටවලට පෙන්වා දුන්නේය.
"ඕනෑම අවස්ථාවක එය සාක්ෂාත් කර ගැනීම දුෂ්කර යැයි මට මෙහි වාඩි වී පැවසීම ඉතා පහසුයි. නමුත් අපි වෙනත් මැදිහත්වීම් (එන්නතක් හෝ ප්‍රතිකර්මයක් සොයාගැනීම වැනි) බලාපොරොත්තුවෙන් සිටින අතරතුර ඉදිරි මාස ගණන පවත්වා ගැනීමට ඇති එකම ක්‍රමය එයයි. නැවත වරක් අපට කිව යුතුව ඇත්තේ නිසි වේලාවට ඵලදායී එන්නතක් ලැබෙනු ඇතැයි අපි සැබවින්ම බලාපොරොත්තු වන නමුත්, ඒ සඳහා කිසිදු සහතිකයක් තවමත් අපට නොමැති බවයි."
"ඒ නිසා අපි වෛරසය සමග ආරක්ෂිතව ජීවත් වීමට ඉගෙන ගත යුතුයි" වෛද්‍ය රයන් වැඩිදුරටත් පැවසීය.