වෛරසය සමග සෙල්ලම් කළ බ්‍රසීල ජනපති ඇතුළු කැබිනට් ඇමතිවරු 8කට වැඩ වැරදිලා


නව කොරෝනා වෛරසය පුංචි උනක් ලෙස සලකා ඒ සමග මුල සිටම සෙල්ලම් කළ ජනපති ජෙයර් බොල්සොනාරෝ මෙන්ම, ජනපති ආර්යාව ඇතුළු, ඔහුගේ කැබිනට් මණ්ඩලයේ අමත්‍යවරු 8 දෙනෙකු මේ වනවිට කොවිඩ්-19 වෛරසයට ගොදුරුව ඇති බව විදෙස් වාර්තා පෙන්වයි.

ආසන්නතම වශයෙන් ජනාධිපති ධුරයේ ලේකම්වරයා ලෙසද කටයුතු කරන අමාත්‍ය ජෝර්ජ් ඔලිවෙයිරා නව කොරෝනා වෛරසය වැලඳී, හුදෙකලාව සෞඛ්‍ය පරීක්ෂාවන් යටතේ පසුවන බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර තිබේ. එමෙන්ම ඊයේ දිනයේදී ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, ජෙනරාල් වෝල්ටර් සූසා බ්‍රාගා වෛරසයට ගොදුරු වූ තවත් ප්‍රබලයෙකු විය.

ජෙනරාල් වෝල්ටර් බ්‍රසීල නායකයාගේ අතිශය සමීපතමයෙකු වන අතර, අමාත්‍ය ජෝර්ජ් ඔලිවෙයිරාද බ්‍රසීල නායකයා සමග සමීපව කටයුතු කරන්නෙකි. එහිදී ජනාධිපතිවරයාගේ ආශ්‍රිතයන් අතරින් වෛරසයට ගොදුරුවිය හැකි අවසාන පුද්ගලයාද මොවුන් විය නොහැකි බව කියන්නේ, බොල්සොනාරෝ තවමත් මෙහි බරපතළකම වටහාගෙන ක්‍රියාත්මක නොවන බැවිනි.

ඔහු සති කිහිපයකට පසුව තම කොවිඩ්-19 පරීක්ෂාව සෘණාත්මක බව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයක් ගතවීමට පෙර යතුරුපැදියක නැගී තම ආධාරකරුවන්ට අතවනමින් සංදර්ශනයක් පැවැත්වූ අතර, එරට ප්‍රමුඛ පෙළේ බෝවන රෝග විශේෂඥයෙකු මෙය අතිශය අනුවණ ක්‍රියාවක් ලෙස සඳහන් කර තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඒ ආසන්නතම දිනයකදී ජනාධිපති ආර්යා මිෂෙල් ද රෝගයට ගොදුරු විය. කෙසේ වෙතත් වසංගතය ආරම්භ වූ දා සිට බ්‍රසීලය වෛරස් රෝගීන් මිලියන 2.8කට වැඩි ප්‍රමාණයක් තහවුරු කර තිබේ. නිල මරණ සංඛ්‍යාව 95,819ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය පැය 24 තුළ නව ආසාදිතයන් 51,603ක් සහ මරණ 1,154ක් වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



Recommended Articles