චීනයේ, වූහාන් හිදී ප්‍රථම වරට කොවිඩ්-19 වෛරසය අනාවරණය වූ පසු ඒ පිළිබඳ ප්‍රමාණවත් ලෙස අනතුරු ඇඟවීමට චීනය අපොහොසත් වූ බවට වන චෝදනා එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් දෙගුණ තෙගුණ කර තිබේ.
තායිවානයේ සංචාරයකට එක්වෙමින් එක්සත් ජනපද සෞඛ්‍ය ලේකම්වරයා චෝදනාව සිදුකර ඇති අතර, ඔහුගේ මෙම සංචාරය චීනයේ කෝපය තීව්‍ර කළ සංචාරයක් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
අසාර් පවසන්නේ චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයට නිසි පරිදි ලෝකයට අනතුරු ඇඟවීමට සහ වෛරසය සමග සටන් කිරීම සඳහා ලෝකය සමග වැඩ කිරීමට අවස්ථාවක් ලැබී තිබුණත්, ඔවුන් එසේ නොකිරීමට තීරණය කිරීම නිසා එම තේරීමේ පිරිවැය දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි.
මීට පෙර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕද දිගින් දිගටම මේ සම්බන්ධයෙන් චීනයට චෝදනා කළ අතර, චීනය පදයට නැටූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයටද චෝදනා කරමින්, සංවිධානයෙන් නිල වශයෙන් ඉවත්ව එහි එක්සත් ජනපද අරමුදල් ඉවත් කරගැනීමටද කටයුතු කරන බව කීවේය.