කොරෝනා වෛරසය දේශපාලනීකරණය නොකරන්න යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇමෙරිකානු ජනාධිපතිවරයාට අවධාරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය කේන්ද්‍රීය පිළිවෙතක් අනුගමනය කරන බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් අද්නාම් ගෙබ්‍රයිසස් මෙසේ පවසා සිටියේය.
"වෛරසය දේශපාලනීකරණය නොකරන්න" යැයි එම සංවිධානයේ ප්‍රධානියා ඉල්ලා සිටීමත් සමග ජනාධිපති ට්‍රම්ප් බදාදා ලෝක සෞඛ්‍ය සංවිධානයට එල්ල කළ ප්‍රහාර අලුත් කළේය.
මීට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් ට්‍රම්ප්ගේ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වූයේ ඔහුගේ සංවිධානය විසින් කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය විස්තර කරමිනි.
"කරුණාකර මේ වෛරසය දේශපාලනීකරණය නොකරන්න. ඔබට තවත් 'බොඩි බෑග්' (මළ සිරුරු බහාලන ඇසුරුම්) අවශ්‍ය නොවන්නේ නම්, ඔබ එය දේශපාලනීකරණය කිරීමෙන් වළකින්න. මගේ කෙටි පණිවිඩය නම්, කරුණාකර කෝවිඩ් දේශපාලනීකරණය කිරීම නිරෝධායනය කරන්න" යැයි ගෙබ්‍රෙයිසස් වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් මින් අනතුරුව ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ට්‍රම්ප් කියා සිටියේ කොරෝනා වෛරසය දේශපාලනීකරණය කළේ ගෙබ්‍රෙයිසස් බවයි. එම සංවිධානය චීනයට අනුග්‍රහය දක්වන බව තමා විශ්වාස කරන බව ඔහු යළිත් වරක් කියා සිටියේය.
"ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් චීනය ඩොලර් මිලියන 42ක් වියදම් කරද්දී, අපි ඩොලර් මිලියන 450ක් වියදම් කළා. නමුත් සියල්ල චීනයේ අවශ්‍යතාව අනුව සිදුවන බවයි පෙනෙන්නේ. එය සිදුවිය යුත්තක් නොවෙයි. එය අපට සාධාරණයක් නොවෙයි. අවංකවම එය ලෝකයට සාධාරණයක් නොවෙයි." යනුවෙන් ට්‍රම්ප් කියා සිටියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය 'නිවැරදි විශ්ලේෂණයක්' ලබා දුන්නේ නම් කොරෝන වෛරසයේ මරණ අඩු වනු ඇතැයි ට්‍රම්ප් මෙහිදී ඇඟවීය.
"මම හිතන්නේ ඔබ වැඩිපුර 'බොඩි බෑග්' කියන විට, මම හිතන්නෙ අපි එහෙම කරාවි. කෙසේ නමුත්, ඔබ නිවැරදි විශ්ලේෂණයක් ලබා දුන්නේ නම්, ඔබ සේවය කිරීමට බලාපොරොත්තු වන ජනතාවට වඩා හොඳ සේවයක් කිරීමට ඔබට ඉඩ තිබුණා." යැයි ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයාට තවදුරටත් චෝදනා කළේය.