වෛරසය ගැන ඇතැම් රටවල භීතිය චීනය ප්‍රතික්ෂේප කරයි


නව කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් ආතතිය හා භීතිය ඇති කරන ඇතැම් රටවල ක්‍රියාවන්ට චීනය විරුද්ධ බව චීන විදේශ ඇමති වැන්ග් යි සිකුරාදා පවසා සිටියේය.

ගෝලීයකරණ යුගයේ අන්තර්ජාතික මහජන සෞඛ්‍ය අභියෝගයන්ට මුහුණ දීම සඳහා අප තාර්කිකව සන්නිවේදනය හා සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු බවත්, ඵලදායීව ඒ කටයුතු කළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සමඟ කළ දුරකථන ඇමතුමකදීය.

"චීනයේ උත්සාහය චීන ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම පමණක් නොවෙයි. ලොව පුරා ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමත් ඊට ඇතුළත්. සමහර රටවල් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සඳහා පූර්ණ පිළිගැනීමක් දක්වා තිබෙනවා."

ලෝක සෞඛ්‍ය සංවිධානය බ්‍රහස්පතින්දා කියා සිටියේ කෝරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් චීනයට වෙළඳ හා සංචාරක සීමා කිරීම් නිර්දේශ නොකරන බවයි.

"ඉන්දියාව ඇතුළු ලෝකයේ සියලුම රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයට ගරු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. ජාත්‍යන්තර ප්‍රජාව සමඟ මහජන සෞඛ්‍ය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටිනවා” ඔහු අවධාරණය කළේය.

වසංගතයට එරෙහිව සටන් කිරීමට ඉන්දියාව චීන රජයට සහ ජනතාවට සහාය දෙන බවත්, වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී චීනය දක්වන විවෘතභාවය, විනිවිදභාවය සහ වගකිවයුතු ආකල්පය අගය කරන බවත් ජයශංකර් පැවසීය.

ඉන්දියාව වසංගතය පිළිබඳ තාර්කික තක්සේරුවක් වෙනුවෙන් පෙනී සිටින අතර තත්ත්වය අවුල් කළ හැකි කිසිදු ක්‍රියාවකට සහාය නොදක්වන බවද ඔහු කියා සිටියේය. චීන ජනතාවට දැඩි අධිෂ්ඨානයක් ඇති අතර දුෂ්කරතා මධ්‍යයේ එක්සත් වී සිටින බවත් පැවසූ ජයිශංකර්, වසංගතයට එරෙහි සටන ජය ගැනීමට චීනයට හැකි බව තමා විශ්වාස කරන බව වැඩිදුරටත් පැවසීය.



Recommended Articles