රට තුළ දැනට ක්‍රියාත්මක දැඩි නිරෝධායන පියවරයන් තුළ ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන්ට වෙඩි තබා මරා දමන ලෙස පිලිපීන ජනපති රොද්‍රිගෝ ඩුටාර්ටේ පොලීසියට සහ හමුදාවට නියෝග කර තිබේ.
එරට වාමාංශික දේශපාලන කණ්ඩායමක සාමාජිකයින් මැනිලා නගරයේ ආහාර බෙදා හැරීම සම්බන්ධයෙන් නොසන්සුන් වෙමින්, විරෝධතාවක් ආරම්භ කිරීමෙන් පසුව ඩුටාර්ටේ මෙම නියෝගය නිකුත් කළේය.
"ගැටුමක් ඇත්නම් සහ ඔවුන් සටන් කොට ඔබේ ජීවිත අනතුරේ හෙළන අවස්ථාවක් තිබේ නම්, ඔවුන්ට වෙඩි තබා මරා දමන්න" ඩුටර්ටේ රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම නව නියෝගය හෙළි කළේය.
පිලිපීනයේ මත්ද්‍රව්‍ය උවදුර පාලනය සඳහාද දැඩි පියවර ගැනීම නිසා ප්‍රසිද්ධියට පත්ව සිටින ඩුටාර්ටේ, මේ වනවිට රට පුරා හදිසි බලතල ක්‍රියාත්මක කිරීමේ අවකාශය ඔහු වෙත ලබාගෙන ඇති අතර, එය පසුගිය සතියේ කොංග්‍රසය විසින් අනුමත කරන ලදී.
සංචාරක සීමා කිරීම් සහ ඇඳිරි නීතිය පැනවීම් සමග රටේ බොහෝ ප්‍රදේශවල ජනතාව ප්‍රජා නිරෝධායනයක තබමින්, කොවිඩ් -19 පැතිරීම මන්දගාමී කිරීමට පිලිපීනය උත්සාහ කරයි.
ඒ අනුව ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන් සුනඛ කූඩුවලට දමා අගුලු දැමීම හෝ දහවල් දැඩි හිරු එළියේ පැය ගණන් වාඩිකර තැබීම ආදී දඬුවම්ද පිලිපීන ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරමින් තිබේ.
එමෙන්ම නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රටපුරා 70,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පිලිපීන ජාතික පොලිසිය මේ සතියේ ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම කොවඩ්-19 පාලනය කිරීම සඳහා පිලිපීන රජය දැඩි උත්සාහයක් ගන්නා අවස්ථාවේදී විරුද්ධ පක්ෂ හා කණ්ඩායම් විසින් ජනතාව උසිගන්වමින් සිදුකරන අනවශ්‍ය කලබලයන් පාලනය කිරීම වෙනුවෙන් ඩුටාර්ටේ මෙම දැඩි නියෝගය එරට ආරක්ෂක අංශ වෙත ලබාදී ඇති බව සඳහන් වෙයි.