වෙනිසියුලා අගනුවර පූර්ණ ලොක්ඩවුන් තත්ත්වයකට


වෙනිසියුලාවේ අගනුවර වන කැරකස් හි ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස අද (15දා) සිට යළිත් සම්පූර්ණ ලොක්ඩවුන් තත්ත්වයක් ක්‍රියාත්මක වන බව එරට උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගුස් ට්විටර් පණිවුඩයක් මගින් නිවේදනය කරයි.

වෙනිසියුලාව ජුනි මස මුල සිට ක්‍රමයෙන් නැවත විවෘත කිරීම ආරම්භ කළ නමුත් පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ ශීඝ්‍ර ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

මේ තත්ත්වය තුළ එරට ජනාධිපති නිකොලස් මදුරෝ, අගනුවර දිස්ත්‍රික්කය සහ අවට මිරැන්ඩා ප්‍රාන්තය මුළුමනින්ම වසා දැමීමේ තීරණය ප්‍රකාශයට පත් කළ බව රොඩ්‍රිගුස් වැඩිදුරටත් සඳහන් කළේය.

මදුරෝගේ රජය විසින් රැස් කරනලද දත්ත වලට අනුව වෙනිසියුලාවේ මේ වනවිට නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 10,010ක් තහවුරු වී තිබේ. එම සිද්ධීන් අතුරින් 2,000කට ආසන්න ප්‍රමාණයක් කැරකස් සහ අවට මිරැන්ඩා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත. එමෙන්ම රට පුරා මරණ 96ක් වාර්තා කර තිබේ.

මේ අතර වෙනිසියුලාවේ විපක්ෂය මෙන්ම ජාත්‍යන්තර සංවිධානද කොවිඩ්-19 ආසාදිතයන් නිසි ලෙස සොයා බලා වාර්තා කිරීමට රජයට ඇති හැකියාව පිළිබඳව ප්‍රශ්න මතු කර ඇත්තේ ආසාදිත අගය මීට වඩා වැඩිවිය හැකි බවට අනතුරු අඟවමිනි.



Recommended Articles