විවේචන නිසා බ්‍රසීලය සමස්ත කොවිඩ්-19 දත්ත යළි සපයයි


බ්‍රසීලය නව කොරෝනා වෛරසයේ ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් සමස්ත දත්ත සඟවන බවට වූ විවේචනයෙන් පසුව යළිත් එම දත්ත ලබාදීමට බ්‍රසීලය කටයුතු කර තිබේ.

බ්‍රසීලය ඊයේ (08දා) දිනයේදී නව කොරෝනා වෛරස ආසාදිතයන් 15,654ක් වාර්තා කර ඇති අතර, ඒ සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 707,412ක් දක්වා ඉහළ ගිය බව බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එසේම බ්‍රසීලය සඳුදා නව කොවිඩ්-19 මරණ 679ක් තහවුරු කර ඇති අතර එමගින් රටේ සමස්ත මරණ සංඛ්‍යාව 37,134ක් දක්වා ඉහළ ගිය බවද බ්‍රසීලය කියයි.

කෝවිඩ්-19 ආසාදිතයන් හා මරණ පිළිබඳ සමස්ත දත්ත සැපයීම නවතා දැමීමට බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාකර තිබුණේ තවදුරටත් සවිස්තරාත්මක දත්ත ලබා නොදෙන බව පවසමිනි.

එහිදී කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් නිල සංඛ්‍යා දත්ත වාර්තා කිරීමේදී ප්‍රමාද සිදු වූ බවත්, ඒවායෙහි වෙනස්කම් කළ යුතු බවත් කියමින්, ප්‍රසිද්ධියට පත්කළ දත්ත හා තොරතුරු ඉවත් කිරීමට ගත් තීරණය බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ සාධාරණීයකරණය කළේය.
 
බ්‍රසීලය මුලදී කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් දත්ත ප්‍රසිද්ධියට පත් කළ අතර එය ජනපදයෙන් ජනපදයට සහ නගර සභාවෙන් නගර සභාවට වෙනම දත්ත ඉදිරිපත් කළ අතර, රටේ සමස්ත දත්ත වාර්තාවද වෙබ් අඩවිය හරහාම ලබාදුන්නත් එය පසුව ඉවත් කර තිබුණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවිධ ක්‍රියාකාරීන් සහ මාධ්‍ය දැඩි විවේචනයක් එල්ල කළ අතර පසුව යළිත් එම දත්ත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළත්, එම දත්ත ලබාගත හැකි වන්නේ අඟහරුවාදා දිනයේදී පමණක් බව සඳහන් කර තිබේ.

ලතින් ඇමෙරිකානු කලාපයේ වඩාත් දරුණු ඉරණමකට බ්‍රසීලයට ලක්වීමට සිදුවූයේ එරට ජනාධිපති ජෙයර් බොල්සොනාරෝගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපය නිසා බවට දැඩි විවේචනයක් පවතී.



Recommended Articles