විරෝධාර තායි නාවික සෙබලාට වයිල්ඩ් බෝර්ස් කෘතගුණ දක්වයි


තායිලන්ත ගුහා සංකීර්ණයේ සිරවුණු දරුවන් පිරිස බේරාගැනීමට ගොස් දිවිදුන් නේවි සීල් භටයෙකු වූ සමාන් ගුනාන් වෙත කෘතගුණ දැක්වීමට එම දරුවන් සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ක්‍රියාකර තිබේ.

තායිලන්තයේ, තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණයේ සති දෙකකට වැඩි කාලයක් සිරවී සිට බේරාගැනුණු දරුවන් 12දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරම වීරෝධාර නාවික සෙබලාගේ ඡායාරූපයක් අතින් ගෙන මෙම කෘතගුණ දැක්වීම සිදුකර ඇත.

මෙම දරුවන් බේරාගැනීමේ මෙහෙයුමට ස්වෙච්ඡාවෙන්ම සම්බන්ධ වෙමින් මෙහෙයුමට අවශ්‍ය ඔක්සිජන් ටැංකි ස්ථානගත කිරීම සඳහා ගුහා සංකීර්ණය වෙත පිවිසි අවස්ථාවේදී පසුගිය ජූලි 6දා හිටපු නාවික සෙබලා ජීවිතක්ෂයට පත්විය.

ඒ සුවිශේෂී කැපකිරීම හේතුවෙන් ඔහු වීරයෙකු ලෙස නම් කිරීමට තායි බලධාරීන් කටයුතු කරද්දී ලෝකයේම හදවත් තුළ ඔහු වීරයෙකු බවට පත්ව තිබුණි.

සමාන් ගුනාන්ගේ අභාවය පිළිබඳ මේ දරුවන් 12දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු මෙතෙක් දැන නොසිටි අතර, වෛද්‍යවරුන් ඊයේ මෙම වියෝව සැලකර ඇත්තේ ඔවුන් දැන් තරමක් හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවන නිසාය.

මේ පුවත කණ වැකුණු සැනින් ඔවුන් සියලු දෙනා හඬා වැළපී ඇති අතර, වීරෝධාර රණවිරුවා වෙනුවෙන් සටහන් තබමින්, ඔහුගේ චිත්‍ර අඳිමින්, ඔහුගේ විශාල ඡායාරූපයක් අතින් ගෙන ඔහු වෙනුවෙන් විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවක් රකිමින් මෙම කෘතගුණ දැක්වීමක්ද සිදුකර තිබේ.

එමෙන්ම, නාවික සෙබල සමාන් වෙත සිය බලවත් ස්තූතිය පුද කර ඇති මේ දරුවන් පවසා ඇත්තේ ඔහුගේ කැපවීමට කෘතගුණ දැක්වීමක් ලෙස සියලු දෙනා ඉතා හොඳ දරුවන් වීමට අධිඨන් කර ගන්නා බවයි.



Recommended Articles