විරෝධතා දිගටම පවතී නම් වෙඩි තබන්න නියෝගයක්


කසකස්තානයේ විරෝධතාවල යෙදෙන ඊනියා "ත්‍රස්තවාදීන්" වෙත පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව වෙඩි තබා ඝාතනය කරන බවට එරට ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.

ඒ අනුව රුසියාව ඇතුළු කසකස්තානයේ අසල්වැසි රටවලින් 2,500කට ආසන්න භට පිරිසක් පැමිණීමෙන් පසු අල්මාටි නගරය නිහඬ බව වාර්තා වේ. රුසියාවේ නායකත්වයෙන් යුත් සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානය (CSTO) හරහා ලැබුණු සහාය වෙනුවෙන් කසකස්තාන ජනාධිපති ටොකායේව් රුසියානු ජනාධිපති පූටින් වෙත ස්තූතිය පළ කළේය.

කෙසේ වෙතත් යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය රුසියාවේ මැදිහත්වීම පිළිබඳව කනස්සල්ල පළ කර තිබුණත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලුම ආරක්ෂක අංශ සංයමයෙන් ක්‍රියා කරන ලෙස ඉල්ලා තිබේ.

පැරණි සෝවියට් ජනරජයට අයත් වූ කසකස්තානයේ වාහන ඉන්ධනයක් වන ද්‍රව පෙට්‍රෝලියම් වායුවේ මිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතා රැල්ල ආරම්භ විය. කෙසේ වෙතත් මෙම නොසන්සුන්තාව සඳහා විදේශ පුහුණුව ලත් "ත්‍රස්තවාදීන්ට" දොස් පැවරූ ජනාධිපති ටොකායේව්, "සටන්කාමීන් ආයුධ බිම තබා නැහැ, ඔවුන් දිගටම අපරාධ කරමින් හෝ ඔවුන් සඳහා සූදානම් වෙමින් සිටිනවා" යැයි රූපවාහිනී දේශනයකදී පැවසීය.

"කවුරුහරි යටත් නොවුණොත් විනාශ වෙනවා. මම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ හමුදාවට අණ දීලා තියෙන්නේ අනතුරු ඇඟවීමකින් තොරවම වෙඩි තියන්න කියලයි." ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කසකස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ "අපරාධකරුවන්" 26 දෙනෙකු මරා දමා ඇති අතර අවම වශයෙන් 3,000ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම අමාත්‍යාංශයට අනුව පොලිස් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 18දෙනෙකු පමණ ඝාතනය වී තිබේ.



Recommended Articles