නව කොරෝනා වසංගතය පළමු වැනි අදියරේදී හොඳින්ම පාලනය කළ රටක් වූ වියට්නාමයෙන් තවත් ආසාදිතයන් 31ක් පෙරේදා (03දා) හඳුනා ගැනීමත් සමග මේ දින කිහිපය තුළ තහවුරු කළ ආසාදිතයන්ගේ සමීප සම්බන්ධතා පැවැත්වූ හෝ වසංගතයෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් 103,268ක් නිරෝධායනයට ලක්කර තිබේ.
වියට්නාමය මාස තුනකට අධික කාලයක් ආසාදිත අගය 500කට වඩා අඩුවෙන් තබාගෙන, එකදු මරණයක් හෝ වාර්තා නොකර වසංගතය හොඳින්ම පාලනය කළ රටක් ලෙස මෑතක් වනතුරුම ලෝකය හමුවේ පැසසුම් ලබමින් සිටි රාජ්‍යයකි.
කෙසේ වෙතත් පසුගිය ජූලි 31දා අලුයම එරට ප්‍රථම COVID-19 මරණය වාර්තා වීමත් සමග තත්ත්වය උඩු යටිකුරු වූ අතර, වියට්නාමය තුළ ඇතිවී තිබෙන දෙවැනි රැල්ලේ අවදානම වඩාත් තීව්‍ර කරමින් රට තුළ වාර්තා වන මරණ සංඛ්‍යාව මේ දින කිහිපය තුළ පමණක් 8ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහිදී වියට්නාමයේ වැඩිම ආසාදිතයන් හා ආසාදිත මරණ සංචාරක නගරයක් වන ඩා නන්ග් හිදී වාර්තා කර ඇති බව වියට්නාම මාධ්‍ය වාර්තා කරයි.