විදෙස් කිමිදුම්කරුවන් සමග ඉංග්‍රීසි බසින් කතා කළ තායි ගුහාවේ අදුල්


තායිලන්තයේ ගුහාවක සිරවී සිටි දරුවන් සොයා බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් මුලින්ම පැමිණි අවස්ථාවේදී ඔවුන් සමග ඉංග්‍රීසි බස මනාව හැසිරවූ දරුවා මියන්මාරයේ උපත ලද අසරණ දරුවෙකු බව කියයි.

මෙම සම්පූර්ණ මෙහෙයුම අවස්ථාවේදී විදෙස් කිමිදුම්කරුවන් සමග සන්නිවේදනයේදී මනා කුසලතාවක් පෙන්වා ඇති මෙම දරුවා 14 හැවිරිදි අදුල් සැමොන් ලෙස හඳුනාගෙන ඇත.

ඉංග්‍රීසි භාෂාවට අමතරව, තායි, බුරුම සහ චීන භාෂාවද මනාව හැසිරවීමේ හැකියාවක් අදුල් සතුව පැවති බව සඳහන් වෙයි.

පසුගිය අඟහරුවාදා මෙම මෙහෙයුම සාර්ථකව අවසන් වූයේ ගුහාවෙන් අවසන් වරට සිරවී සිටි දරුවන් හතර දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු පිටතට ගැනීමෙන් පසුවය.

පසුගිය ජූනි 23දා දරුවන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු මෙම ගුහාවේ සිරවූයේ ඔවුන් නොසිතූ පරිදි ධාරානිපාත වර්ෂාව ඇදවැටී ගුහාව ජලයෙන් යටවීම නිසාය.

ඔවුන්ගේ අතුරුදන්වීමෙන් දින 9කට පසුව බ්‍රිතාන්‍ය ජාතික විශේෂඥ කිමිදුම්කරුවන් ගුහාවේ දොරටුවේ සිට කිලෝමීටර් 4ක් පමණ ගැඹුරින් මෙම දරුවන් සොයාගන්නා විට ඔවුන් සමග මුලින්ම වඩාත් පැහැදිලිව ඉංග්‍රීසි බසින් සන්නිවේදනය කළ දරුවා අදුල්ය.

බුරුමයේ ස්වයංපාලනයක් සහිත වා ප්‍රාන්තයේ සිට තායිලන්තය වෙත අනාථයෙකු ලෙස සංක්‍රමණය වී ඇති අදුල්ගේ දෙමවුපියන් තවමත් ජීවත්වන්නේ බුරුමයේය.

රටේ සමස්ත ජනගහණයෙන් වැඩි පිරිසකට ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවිය නොහැකි බුරුමයෙන් පැමිණි අදුල්ගේ සන්නිවේදන හැකියාව මෙන්ම, ගුණයහපත්කම් අතින්ද ඔහු හොඳ දරුවෙකු බව පාසලේ ගුරුභවතුන් සඳහන් කරයි.



Recommended Articles