විද්‍යා විරෝධී පක්ෂග්‍රාහීත්වය ඇමෙරිකාවට වැරදුණු තැනයි


ඇමෙරිකා එක්සත් ජනපදය කොවිඩ්-19 වසංගතය හමුවේ පෙන්වූ විද්‍යා විරෝධී පක්ෂග්‍රාහීත්වය වසංගතය පාලනය කිරීමේදී ප්‍රබල ගැටලු ඇති කළ බව ඇමෙරිකාවේ බෝවන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කරන්නේ එරට තුළ වසංගතය අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින වාතාවරණයකය.

"එක්සත් ජනපදය තුළ අප මුහුණදෙන එක් ගැටලුවක් නම්, අවාසනාවකට වගේ මිනිසුන් තුළ විද්‍යා විරෝධී පක්ෂග්‍රාහීත්වයේ එකතුවක් තිබීමයි. සමහර විට ඔබ දන්නා, සිතාගත නොහැකි හෝ තේරුම්ගත නොහැකි හේතු නිසා ඔවුන් විද්‍යාව විශ්වාස නොකරවා. ඔවුන් අදාළ අධිකාරීන් (සෞඛ්‍ය සේවා ප්‍රධානීන් හෝ විශේෂඥයන්) විශ්වාස නොකරනවා" ෆවුසි එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේදී අදහස් දක්වමින් පවසා සිටියේය.

"ඉතින් ධවල මන්දිරයේදී වුවත් අදාළ අධිකාරිය (සෞඛ්‍ය සේවා ප්‍රධානියෙකු/විශේෂඥයෙකු) විද්‍යාව ගැන කතා කරන විට, එය විශ්වාස නොකරන සමහර අය සිටින බව ජනතාවත් දකින විට එය අවාසනාවක්. මොකද අප දන්නා පරිදි විද්‍යාවේ සත්‍යතාවත් තියෙනවා" ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ ෆවුසි සඳහන් කළේය.

මේ දක්වා එක්සත් ජනපද පරිපාලන ආයතන 6ක සේවය කර ඇති ෆවුසි, නව කොරෝනා වෛරස වසංගතය අතරතුර ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවලදී පෙනී සිටි ප්‍රබල චරිතයකි. එහිදී ඔහු ගෙනහැර දැක්වූ බොහෝ විද්‍යානුකූල තර්ක ජනාධිපති ට්‍රම්ප් විසින් ඒ ස්ථානයේදීම කුණු කූඩයට වීසි කළේ, අඩුම තරමින් ඔහුවත් මුඛ ආවරණයක් හෝ පැළඳීම ගණනකට නොගනිමිනි.

"සමහර විට එය ප්‍රතික්ෂේප කිරීම පුදුම සහගතයි. එන්නත්වල ආරක්ෂාව පිළිබඳව දත්ත පැහැදිලිව පෙන්නුම් කළත්, එන්නත් ලබා ගැනීමට මිනිසුන් අකමැතියි. ඒක ඇත්තටම ප්‍රශ්නයක්."  ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජනතාවට විශ්වාසය තැබිය හැකි රාජ්‍ය පාලකයෙකු හෝ පාලනයක් නොමැති විට සමස්ත රටක්ම අකර්මණ්‍ය වන බව නොකියා කියමිනි.



Recommended Articles