ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනාකීර්ණ ප්‍රාන්තය වන වික්ටෝරියා හි කොවිඩ්-19 දෙවැනි රැල්ලක් වඩාත් වේගයෙන් පැතිර යමින් තිබීම හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම හමුදා යෙදවීමට බලධාරීන් කටයුතු කර තිබේ.
මෙල්බර්න් නගරයද අයත් වන වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වනවිට දැඩි හුදකලා නීති පනවා ඇති අතර, නිවසින් බැහැරට පැමිණීම බොහෝ දුරට සීමා කර තිබේ.
ඒ අනුව යම් අයෙකු මෙම නීති උල්ලංඝනය කරමින් තම නිවසින් පිටතදී අල්ලා ගතහොත් ඒ ඕනෑම කෙනෙකුට ඕස්ට්‍රේලියානු ඩොලර් 20,000ක් තරම් වූ විශාල දඩයකට යටත්වීමට සිදුවන බව ප්‍රාන්ත බලධාරීන් කියයි.
එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තය මේ සතිය මුලදී රාත්‍රී ඇඳිරි නීතිය පනවා, ජනතාවගේ ගමන් බිමන් සඳහා සීමාවන් පනවා ඇති අතර, නව කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී කිරීමේ අරමුණින් දේශීය ආර්ථිකයේ විශාල කොටස් වසා දමන ලෙසද නියෝග කළේය.
මේ තත්ත්වය තුළද කොවිඩ්-19 ආසාදනය වූවන්ගෙන් තුනෙන් එකක් පමණ දෙනා අදාළ සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂා කරන අවස්ථාවේදී සිය නිවෙස් තුළ නොසිට ඇති අතර, මේ ආකාරයෙන් නීති උල්ලංඝනය කරමින් නිවසින් බැහැරට යන අය පාලනය සඳහා දැඩි නීතිරීති සහ හමුදා යෙදවීමට ඔස්ට්‍රේලියාවට සිදුව තිබේ.
ඒ අනුව මෙම ස්වයං හුදකලා නියෝග බලාත්මක කිරීම සඳහා හමුදා භටයන් 500ක් වික්ටෝරියා වෙත දැනටමත් පිටත්කර හැර ඇති බව මහ ඇමති ඇන්ඩෘස් පවසා සිටියේය.
ඔස්ට්‍රේලියාවද නව කොරෝනා වසංගතය හමුවේ මුල සිටම වඩාත් හොඳින් වෛරසය පාලනය කළ රටක් වුවද, මෙම දෙවැනි රැල්ල පාලනය කරගැනීමේදී ඔවුන්ද දැඩි අර්බුදයකට පත්ව සිටියි. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව මේ වනවිට ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ්-19 ආසාදිතයන් 18,733ක් වාර්තා වන අතර, මරණ 232ක් සිදුව තිබේ.