වැඩිහිටි නිවාසයට යෑමට නොහැකි බව කියා 92 මව 72 පුතාව මරයි


වැඩිහිටි නිවාසයකට යෑම ප්‍රතික්ෂේප කරමින් ඇමෙරිකානු ජාතික 92 හැවිරිදි මවක්, සිය 72 හැවිරදි පුත්‍රයා වෙඩි තබා ඝාතනය කර තිබේ.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම කාන්තාවට මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල වී ඇති අතර, ඇයව වැඩිහිටි නිවාසයකට යොමු කිරීමට පුත්‍රයා කටයුතු කිරීමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව අධිකරණයේදී ඔප්පු වී ඇත.

"උඹ මගේ ජීවිතේ උදුරා ගත්තා... මම උඹේ ජීවිතේ උදුරා ගන්නවා" යැයි කියමින් සිය පෙම්වතිය සමග සිටි පුත්‍රයාට මෙම මව වෙඩි තබා තිබේ.   

අනතුරුව ඇය තම අත වූ පිස්තෝලය පුත්‍රයාගේ 57 හැවිරිදි පෙම්වතිය වෙතද එල්ල කර තිබුණත්, ඇය මෙම කාන්තාව සමග පොරබදා පිස්තෝලය පැත්තට වීසි කර ඇත.

අනතුරුව, මෙම මව තමා අත වූ දෙවැනි පිස්තෝලයෙන්ද ඇයට වෙඩි තැබීමට උත්සාහ කළත් එහිදීද ඇය දිවි ගලවාගෙන පොලීසියට ක්ෂණිකව සිද්ධිය සැලකර තිබේ.

කෙසේ වෙතත්, පුත්‍රයාට වෙඩි තැබීමෙන් පසුව තමන්ටද සියදිවි හානිකර ගැනීමට අවශ්‍ය වූ බව ඇය පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

පසුගිය ජූලි 02දා ෆවුන්ටන් හිල් හිදී අලුයම 2.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

තම මව රැකබලා ගැනීම අපහසු බව පවසමින් මෙම පුතා ඇගේ මව වැඩිහිටි නිවාසයට යොමු කිරීමට උත්සාහ කර ඇති බවද මෙම සිද්ධියේදී වැඩිදුරටත් අනාවරණය වී තිබුණි.



Recommended Articles