වසාදැමුණු රටවල ගෘහස්ත හිංසනය ඉහළ යාවි - UN


කොවිඩ්-19 වෛරසය හමුවේ ලෝකයේ රාජ්‍යයන් රැසක් මේ වනවිට සිය රටවල් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසාදැමීමට (Lockdown) කටයුතු කර ඇති පසුබිමක ගෘහස්ත හිංසනය වර්ධනය වීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවයි.

"මූලික පොලිස් හා කඩිනම් වාර්තා මගින් දැනටමත් පුරෝකථනය කර ඇති පරිදි පුළුල් ලෙස ගෘහස්ථ හිංසනය ඉහළ යෑමේ අවදානමක් පවතිනවා" යැයි කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ඩුබ්‍රව්කා සිමොනොවික් පවසයි.

"බොහෝ කාන්තාවන් හා ළමයින් නිවාස තුළදී තරවටු කිරීම් හා අපයෝජනයට ලක්වන බව නොරහසක්. කෙසේ වෙතත් මේ කොවිඩ් -19 වසංගතය තුළ පැනවූ රාජ්‍යයන් වසාදැමීමේ ක්‍රියාමාර්ග හා ස්වයං හුදකලාව වැනි අවස්ථාවන්හිදී එම තත්ත්වය තම සමීපතම සහකරු හෝ ඥාතියා අතින් සැලකිය යුතු ලෙස නරක අතට හැරීමට ඉඩ පවතිනවා."

නිවසක් නොමැති හෝ අඩු ඉඩකඩක ජීවත්වන අවස්ථාවල මේ තත්ත්වය වඩාත් උග්‍ර විය හැකි බවද සිමොනොවිච් පෙන්වා දෙයි. අධිකරණයේ පිහිට හෝ පොලීසියේ මැදිහත්වීම් අවම වීම යන හේතු නිසා යුක්තිය පසිඳලීමට ප්‍රවේශයට බාධා පැමිණවීමද මේ තත්ත්වය උග්‍ර කරන තත්ත්වයක් බව ඇය කියයි.

තවද, මේ මොහොතේ වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය හදිසි පියවර නිසා ගෙදර දොර කටයුතු, දරුවන්ගේ කටයුතු සහ වැඩිහිටියන්ගේද කටයුතු මෙන්ම, පවුලේ රෝගියෙකු වෙයි නම් ඔවුන් රැකබලා ගැනීම නිසාද කාන්තාවන් වෙත පැටවී ඇති බර වැඩි වී ඇති බව සිමොනොවිච් පෙන්වා දෙයි.

මෙහිදී ගෘහස්ථ හිංසනය වැඩි අවදානමක් ඇති කාන්තාවන් ලෙස ආබාධිත කාන්තාවන්, ලේඛනගත නොකළ සංක්‍රමණික කාන්තාවන් සහ ජාවාරම්කරුවන්ට ගොදුරු වූ කාන්තාවන් පිළිබඳවද සිමොනොවික් විශේෂ අවධානයක් යොමු කරයි.



Recommended Articles