වසංගතය සහ මන්දගාමී ආර්ථිකය හමුවේ මෝදි?


ඉන්දියාවේ අසහාය නායකයෙකු ලෙස වඩාත් ප්‍රබල ඡන්ද පදනමක් සහිතව නැගී සිටි වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියත්වය කොවිඩ්-19 වසගංතය සහ මන්දගාමී ආර්ථිකය හමුවේ කවර ස්ථාවරත්වයක පවතීද යන්න වඩාත් කතාබහට ලක්වන ප්‍රශ්නයකි.

භාරතීය ජනතා පක්ෂයේ සහාය ඇතිව මෝදි අඛණ්ඩව මැතිවරණ ජයග්‍රහණ දෙකක් ලබා ගත්තේය. ඔහු දැඩි හින්දු ජාතිකවාදී පදනමක් සහිත නායකයෙකු ලෙස ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීමට සමත්ව සිටියේය.

වසර ගණනාවක් යනතුරු වාසනාව ඔහු අත පැවතියේය. ශක්තිමත් විපක්ෂයක් නොතිබීමද ඔහුගේ මෙම තේජසට ඉවහල් විය. නමුත් කොවිඩ්-19 වසගංතය සමග ඉන්දියාව ඊට මුහුණදුන් ආකාරයත්, විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය හමුවේ ඉන්දියාව එකම අමු සොහොනක් බවට පත්වූ යුගයත්, ඒ සමග ඉන්දීය ආර්ථිකයේ පසුබෑමත් සමග මෝදිගේ මධු සමය අවසන් වූවා යැයි බොහෝ දේශපාලන විචාරකයෝ පවසති.

මෙවැනි පසුබිමක ඉන්දියා ටුඩේ සඟරාව විසින් 14,600දෙනෙකු සම්බන්ධ කර ජූලි මාසයේදී පැවැත්වූ නව සමීක්ෂණයකින් හෙළි වූයේ 70 හැවිරිදි ඉන්දීය නායකයා, එරට මීළඟ අගමැති ලෙස වඩාත් සුදුසු පුදුගලයෙකු යැයි සැලකුවේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 24%ක් පමණක් බවය. මීළඟ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2024 දීය.

පසුගිය වසරේදීද එවැනිම මත විමසුමකදී ලැබූ ලකුණු ප්‍රතිශතය සැලකීමේදී මෙය ලකුණු 42ක තියුණු පහත වැටීමකි. වසර 20කටත් වඩා වැඩි කාලයක් සිදුකර ඇති මෙම මත විමසුම තුළ ඉන්දියාවේ කිසිදු අගමැතිවරයෙකුගේ ජනප්‍රියත්වයට මෙවැනි කම්නයක් ඇතිවී නොමැති බව සඳහන් වේ.

ඒ අනුව මේ ගෙවීයන වසර මෝදි ගත කරන වඩාත් අසීරුම වසරක් වනු ඇත. දස දහස් ගණන් මිනිසුන් මිය ගිය ව්‍යසනකාරී දෙවැනි කොවිඩ් රැල්ල මෝදි රජය විසින් වැරදි ලෙස හසුරවා ගැනීම නිසා ඔහුගේ ප්‍රවේශමෙන් සකසන ලද ප්‍රතිරූපය ගෝලීය වශයෙන් මහත් පීඩාවට පත් විය. ආර්ථිකය පොරබදමින් සිටින අතර, උද්ධමනය ඉහළ ගොසිනි. ඉන්ධන මිල ඉහළ ගොස් ඇති අතර රැකියා හා පරිභෝජනය මත තවදුරටත් පීඩනය ඇති කර තිබේ. මේ නිසා මෝදිගේ ඉදිරි දේශපාලන අනාගතය කොවිඩ්-19 වසංගතය සමග තීරණය වනු ඇත.



Recommended Articles