වසංගතය පැරදවීමට එන්නත් බලවත් ආයුධයක් - ෂී ජින්පිං


සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩ්-19 එන්නත් ලබාගත හැකි සහ දැරිය හැකි මිලකට ලබාදෙන ලෙස චීනය සිදුකළ ප්‍රකාශය යළිත් වරක් සපථ කරමින්, චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කළේ වසංගතය පරාජය කිරීමට සහ ගෝලීය ආර්ථිකය පුනර්ජීවනය කිරීමට එන්නත් බලවත් ආයුධයක් බවයි.

"සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් ලබාගත හැකි සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි වැඩපිළිවෙළක් අවශ්‍යයයි. ඒවා ගෝලීය මහජන යහපතක් බවට පත්වීම සහතික කිරීම සඳහා චීනය වඩාත් සමීප ජාත්‍යන්තර සහයෝගීතාවක් ඉල්ලා සිටිනවා" චීන ජනාධිපති ෂී ජින්පිං ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව (APEC) වීඩියෝ සබැඳියක් හරහා අමතමින් කියා සිටියේය.

චීනය අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් මාත්‍රා මිලියන 500කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, ඉදිරි වසර තුන තුළ කොවිඩ්-19 ප්‍රතිචාරයට සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා සමාජීය ප්‍රකෘතියට සහාය වීම සඳහා තවත් ඩොලර් බිලියන 3ක ජාත්‍යන්තර ආධාර ලබාදෙන බවද ඔහු පැවසීය.

මෙම රැස්වීමේ මුලසුන දැරුවේ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩේන් විසිනි. 1989 දී පිහිටුවන ලද APEC ආසියා පැසිෆික් කලාපයේ ආර්ථිකයන් 21ක් අතර ආර්ථික සහයෝගීතාවට පහසුකම් සැලසීමේ වැදගත් වේදිකාවක් බවට මෙය පත්ව ඇත.

ආසියා-පැසිෆික් කලාපය ගෝලීය ආර්ථික වර්ධනය සඳහා ප්‍රධාන එන්ජිමක් ලෙස හැඳින්වූ ෂී, කොවිඩ්-19 වසංගතය පරාජය කිරීම සහ මුල් කාලයේදීම ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් කිරීම සාමාජික ආර්ථිකයන් සඳහා ප්‍රමුඛතාව බව පැවසීය.

2020 දී ධනාත්මක වර්ධනයක් අත්කර ගත් එකම ප්‍රධාන ආර්ථිකය චීනයයි. එහි දළ දේශීය නිෂ්පාදිතය 2021 මුල් භාගයේදී වසරින් වසර 12.7%කින් පුළුල් වූ බව චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් බ්‍රහස්පතින්දා නිකුත් කළ දත්ත පෙන්නුම් කරයි.

'බාධක ඉවත් කරන්න, බිත්ති ඉදි කරන්න එපා'

විශේෂයෙන් වෙළෙඳ හා ආයෝජන ලිහිල්කරණය සහ පහසුකම් සැපයීම ප්‍රවර්ධනය කිරීම සඳහා චීන ජනාධිපතිවරයා ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික ඒකාබද්ධතාව ගැඹුරු කිරීමට උත්සාහ කරන ලෙස ඉල්ලා සිටියේය.

"අපි බිත්ති ඉදිකිරීමට නොව, බාධක ඉවත් කළ යුතුයි" ඔහු පැවසීය. "අපි විවෘත විය යුතුයි, වසා දැමිය යුතු නැහැ. අපි ඒකාබද්ධතාව සෙවිය යුතුයි, විසන්ධි නොකළ යුතුයි. ආර්ථික ගෝලීයකරණය වඩාත් විවෘත, සියල්ල ඇතුළත්, සමබර හා සැමට ප්‍රයෝජනවත් වන මාර්ගය මෙයයි" ෂී පැවසීය.

කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව (RCEP) ගිවිසුම අනුමත කළ පළමු රටවල් අතර චීනය සිටින බව සඳහන් කළ චීන නායකයා, මේ වසර අගදී එය බලාත්මක වීමට අපේක්ෂා කළේය.

ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වන RCEP පසුගිය වසරේ නොවැම්බරයේදී ආසියාන් සාමාජික රටවල් 10ක් සහ චීනය, ජපානය, කොරියානු ජනරජය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අත්සන් කරන ලදී. එහි සාමාජික රටවල් 15හි ජනගහනය බිලියන 2.27ක් වන අතර, සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 26කි. මුළු අපනයන ඩොලර් ට්‍රිලියන 5.2කි.

තිරසාර සංවර්ධනය, ඩිජිටල් ආර්ථිකය

සියලූ දෙනාම ඇතුළත් වන සහ තිරසාර සංවර්ධනයක් ලබාගැනීමටත්, වේගයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකය විසින් ලබාදෙන අවස්ථාවන් අත්පත් කර ගැනීමටත් ෂී APEC ආර්ථිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

හරිත වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ දේශගුණික විපර්යාසයන් ආමන්ත්‍රණය කිරීම සඳහා චීනයේ ඇති කැපවීම අවධාරණය කරමින් ඔහු 2030ට පෙර කාබන් ඩයොක්සයිඩ් විමෝචනය උපරිම අවම කිරීමට සහ 2060ට පෙර කාබන් මධ්‍යස්ථභාවය ළඟාකර ගැනීමට රට දුන් පොරොන්දුව යළිත් තහවුරු කළේය.

චීන ජනාධිපතිවරයා පැවසුවේ ඩිජිටල් ආර්ථිකය අනාගතයේ ගෝලීය වර්ධනය සඳහා වැදගත් අංශයක් වන අතර, එමගින් ක්ෂේත්‍රයේ ජයග්‍රාහී සහයෝගීතාව ළඟාකර ගැනීමට උත්සාහ කළ යුතු බවයි.

APEC ආර්ථිකයන්ට විවෘත, සාධාරණ හා වෙනස් කොට සැලකීමක් නැති ඩිජිටල් ව්‍යාපාරික පරිසරයක් සඳහා වැඩ කළ යුතු බව චීන නායකයා පැවසීය.

කොවිඩ්-19 ජය ගැනීමට සහ කලාපය පුරා ආර්ථික ප්‍රකෘතිය වේගවත් කිරීමට දරන උත්සාහයන් දෙගුණ කරන බවට පොරොන්දු වෙමින් රැස්වීමට සහභාගී වූ නායකයින් ප්‍රකාශයක් නිකුත් කළහ.

"අපි මෙම සෞඛ්‍ය හදිසි අවස්ථාව මඟහරවා ගන්නේ ආරක්ෂිත, ඵලදායී, ගුණාත්මක බවින් යුත් සහ දැරිය හැකි කොවිඩ්-19 එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබාදීමෙන් පමණයි" යනුවෙන් එම ප්‍රකාශය සඳහන් කරයි.

"ශක්තිමත්, සමබර, සුරක්ෂිත, තිරසාර හා සියල්ල ඇතුළත් වර්ධනයක් ප්‍රවර්ධනය කිරීමටත්, නවෝත්පාදන හා ඩිජිටල්කරණය දිරිමත් කිරීමටත්, නිදහස්, විවෘත, සාධාරණ, වෙනස් කොට සැලකීම් නොකරන, විනිවිද පෙනෙන හා පුරෝකථනය කළ හැකි වෙළෙඳ හා ආයෝජන පරිසරයක් පෝෂණය කිරීමටත් ඔවුන් පොරොන්දු විය.



Recommended Articles