වර්තමාන වේගයට ගියොත් අගෝස්තු 10දා ආසාදිතයන් මිලියන 2ක් - රාහුල් ගාන්ධි


ඉන්දියාවේ නව කොරෝන වෛරසය ආසාදිතයන් 34,884ක වාර්තාගත වැඩිවීමක් සමග ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය මේ වනවිට 1,038,716ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එරට ප්‍රාන්ත රැසක පළාත් පාලන ආයතන විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම අවදානම් තත්ත්වයන් සලකා බලා දැඩි අගුලු දැමීමේ සීමා පනවා තිබුණත් ආසාදිතයන්ගේ වර්ධනයේ අඩුවක් දැකිය නොහැකි බව කියයි.

එමෙන්ම ගෙවීගිය පැය 24 තුළ මරණ 671ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 26,273කි.

මහාරාෂ්ට්‍ර, තමිල්නාඩු, බටහිර බෙංගාලය සහ ඇසෑම් ඇතුළු ප්‍රාන්ත රැසක අධි අවදානම් සහිත ප්‍රදේශ අගුලු දමා ඇති අතර අත්‍යවශ්‍ය ආහාර සැපයුම් හා සෞඛ්‍ය සේවාවන් සඳහා පමණක් ඉඩ ලබා දී ඇත.

වසංගතය පාලනය කිරීම සඳහා ස්ථිරසාර පියවර ගන්නා ලෙස ප්‍රධාන විපක්ෂය හෙවත් කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටියේය. වර්තමාන වේගයෙන් ආසාදිතයන් වැඩි වුවහොත් අගෝස්තු 10 වනවිට ආසාදන සංඛ්‍යාව මිලියන 2ක් දක්වා දෙගුණයක් වනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.

විශේෂයෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල ආසාදනය පැතිරීමත් සමග ඉන්දියාවේ කොරෝනා ආසාදිත වක්‍රය මෙවැනි විශාල නැග්මකට මුහුණ දීමට ඉඩ ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.



Recommended Articles